මෙරට මාර්ග සංවර්ධනයට අවශ්ය තාර හිඟය මගහරවා ගැනීම සඳහා විකල්ප රටවල් කිහිපයකින් තාර ආනයනය ආරම්භ කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තාර හිඟය මතුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන්.ඒ. හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
ඉරාන තාර ආනයනය ඇනහිටීම සහ අවශ්යතාව
මීට පෙර මෙරටට අවශ්ය උසස් තත්ත්වයේ තාර වැඩි වශයෙන් ආනයනය කරනු ලැබුවේ ඉරානයෙනි. කෙසේ වෙතත්, යුද ගැටුම් සහ හෝමුස් සමුද්ර සන්ධිය අවහිර වීම හමුවේ පසුගිය මාර්තු මාසයේ සිට එලෙස තාර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.
මෙරට මාර්ග නඩත්තු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මසකට අවම වශයෙන් තාර මෙට්රික් ටොන් 20,000 ක පමණ ප්රමාණයක් අවශ්ය වන බව අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
විකල්ප වෙළෙඳපොළ සහ ප්රවාහන අභියෝග
මේ වන විට පවතින තත්ත්වය මතුවීමත් සමඟ විකල්ප මාර්ග ඔස්සේ කසක්ස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් සුළු වශයෙන් තාර ආනයනය කිරීම ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් විකල්ප වෙළෙඳපොළවල් පැවතියද, තාර මෙරටට ගෙන්වා ගැනීමේදී ප්රවාහන අංශයෙන් දැඩි බාධාවන්ට මුහුණ දීමට සිදුව ඇත.
ඇමරිකානු සම්බාධකවලට හසුවීමේ බිය සහ යුදමය තත්ත්වයන් හමුවේ ප්රහාරයන්ට ලක්වීමේ අවදානම හේතුවෙන්, ජාත්යන්තර රක්ෂණ ආයතන විසින් අදාළ නෞකා සඳහා රක්ෂණ ආවරණ ලබාදීම ප්රතික්ෂේප කිරීම නිසා නැව් සමාගම් බොහෝමයක් මෙම ප්රවාහන කටයුතුවලින් ඉවත් වීමට උත්සාහ කිරීම ප්රධාන ගැටළුවක් වී තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.