Swipe left or right to navigate stories
මෙරට HIV සහ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියේ දැඩි ඉහළ යාමක්

මෙරට HIV සහ ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියේ දැඩි ඉහළ යාමක්

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ HIV වෛරසය ආසාදිත එක් කාන්තාවක වාර්තා වන විට පිරිමි පුද්ගලයන් හත්දෙනෙකු වාර්තා වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය හා HIV වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය මහත්මිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති ලිංගාශ්‍රිත රෝග හා HIV/ඒඩ්ස් රෝග තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය ඊයේ (14) මේ බව ප්‍රකාශ කළාය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ති කුමාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.



රෝග ව්‍යාප්තියට බලපෑ හේතු

පිරිමින් අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා, කොවිඩ් වසංගතයෙන් පසු අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ අවස්ථා ඉහළ යාම, ආර්ථික අර්බුදය, මුදල් මත පදනම්ව ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම මෙන්ම මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමේ ප්‍රවණතාව ඉහළ යාම මෙලෙස රෝග ව්‍යාප්තිය වේගවත් වීමට ප්‍රධාන හේතු වී ඇත.

2021 වසර දක්වා පාලනය වී තිබූ HIV සහ ලිංගාශ්‍රිත රෝග තත්ත්වය 2023 වසරේ සිට යළි ඉහළ ගොස් ඇති අතර 2026 වසර වන විටත් එහි පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කරයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන අතර දිවයින පුරා සියලුම වයස් කාණ්ඩ හා රැකියා ක්ෂේත්‍ර නියෝජනය කරමින් නව ආසාදිතයන් හඳුනා ගැනේ.



සයිෆිලිස් සහ හෙපටයිටිස් තත්ත්වය

HIV තත්ත්වයට අමතරව උපදංශය, හෙපටයිටිස් B සහ හෙපටයිටිස් C රෝගීන්ගේ ද දැඩි වර්ධනයක් දක්නට ලැබේ. 2021 ට පෙර වසරකට උපදංශ රෝගීන් 80-100 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද, වර්තමානය වන විට එය වසරකට 1,500 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම පසුගිය වසරට වඩා හෙපටයිටිස් B රෝගීන් දෙගුණයකින් වැඩි වී ඇති අතර 2025 වන විට හෙපටයිටිස් C රෝගීන් සිව්ගුණයකින් ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් HIV සඳහා අතුරු ආබාධ අවම, නොමිලේ ලබාදෙන නවීන ප්‍රතිකාර ක්‍රම ශ්‍රී ලංකාව සතුව පවතින බවද වෛද්‍යවරිය සඳහන් කළාය.



ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 29 දා

ලිංගික සෞඛ්‍ය හා HIV සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ බ්‍රිතාන්‍ය HIV සංගමය එක්ව සංවිධානය කරනු ලබන අධ්‍යාපනික සම්මේලනය මේ මස 29 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ITC රත්නදීප හෝටලයේදී පැවැත්වේ.

“Bridging to tomorrow- Advancing Sexual Health and HIV Medicine through Collaboration and Innovation” යන තේමාව යටතේ පැවැත්වෙන මෙහි සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem