ආසියාවේ අන්තර්ක්රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ 7 වැනි සමුළුවට සහභාගී වීම සඳහා ශ්රී ලංකා දූත පිරිසට නායකත්වය ලබාදෙමින් අසර්බයිජානයේ බාකු නුවර සංචාරයක නිරත වන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා, අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.
මෙම හමුවේදී ශ්රී ලංකාව සහ අසර්බයිජානය අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්රය යන අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී ඇත.
විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
CICA සමුළුව සහ රාජ්ය තාන්ත්රික සබඳතා
ඔක්තෝබර් 14 සහ 15 යන දෙදින අසර්බයිජානයේ බාකු නුවර පැවැත්වෙන මෙම CICA 7 වැනි සමුළුව “ශක්තිමත් CICA සංසදයක්, ආසියානු කලාපයේ සම්බන්ධතාව, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ පැවැත්වේ. එහිදී අමාත්ය විජිත හේරත් මහතා විසින් ශ්රී ලංකාවේ ජාතික ප්රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම සංචාරය අතරතුරදී අමාත්යවරයා කසකස්තානය, උස්බෙකිස්තානය සහ තජිකිස්තානය ඇතුළු CICA සාමාජික රටවල විදේශ අමාත්යවරුන්, සත්කාරක අසර්බයිජාන නියෝජිතයන් මෙන්ම CICA මහලේකම්වරයා සමගද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත.
වේගයෙන් වර්ධනය වන මධ්යම ආසියානු ආර්ථිකයන් සමඟ නව ආර්ථික සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමටත්, ආසියානු කලාපයේ රටවල් සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා පුළුල් කරගැනීමටත් මේ හරහා ශ්රී ලංකාවට හිමිවන්නේ සුවිශේෂී අවස්ථාවකි.
CICA යනු ආසියානු කලාපයේ සහයෝගීතාව, සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය උදෙසා ක්රියාත්මක වන විශාලතම කලාපීය අන්තර් රාජ්ය සංසදයයි.
Comments
Moderated before publishing. Your email stays private.