වයස අවුරුදු 16 ට අඩු ළමුන් සේවයේ යෙදවීම වෙනුවෙන් පනවන දඩ මුදල දස ගුණයකින් ඉහළ නංවමින් 1956 අංක 47 දරන ස්ත්රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
මෙම නව සංශෝධනයට අනුව වයස අවුරුදු 16 ට අඩු ළමයින් නීතිවිරෝධී ලෙස සේවයේ යෙදවීමේ වරදට වරදකරු වන තැනැත්තෙකුට රුපියල් 100,000 ක දඩයක් නියම වන අතර මීට පෙර පැවති රුපියල් 10,000 ක දඩ මුදල මෙලෙස සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබේ.
ප්රධාන සංශෝධන
1956 අංක 47 දරන ස්ත්රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත මගින් වයස අවුරුදු 16 ට අඩු ළමයින් සේවයේ යෙදවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. අද දින සම්මත වූ පනත් කෙටුම්පත මගින් එහි 7(3), 13(2) සහ 20(අ)(3) යන වගන්තිවල නියම කර තිබූ දඩ මුදල් සංශෝධනය කර තිබේ.
ඒ අනුව 7(3) වගන්තිය මගින් වයස අවුරුදු 16 ත් 18 ත් අතර තරුණ අය කාර්මික ව්යාපාරවල හෝ රාත්රී කාලයේදී සේවයේ යෙදවීම සීමා කරන අතර 13(2) වගන්තිය මගින් වයස අවුරුදු 16 ට අඩු ළමයින් සේවයේ යෙදවීමට එරෙහි සාමාන්ය තහනම ආවරණය කෙරේ. එමෙන්ම 20අ(3) වගන්තිය මගින් පිළිගත් අවදානම් සහිත රැකියාවල තරුණ අය සේවයේ යෙදවීම තහනම් කිරීමේ නීතිමය ප්රතිපාදන තවදුරටත් බලගන්වා ඇත.
සිරදඬුවම් සහ වන්දි ගෙවීම්
මෙම අලුත් සංශෝධිත විධිවිධාන උල්ලංඝනය කරන පාර්ශ්වයන්ට රුපියල් 100,000 ක උපරිම දඩයකට අමතරව, මාස 12 කට නොවැඩි සිරදඬුවමක් හෝ දඩය සහ සිරදඬුවම යන දෙකම පැනවීමට නීතිමය ප්රතිපාදන සැලසේ.
ඊට අමතරව අදාළ වරද හේතුවෙන් විපතට පත් ළමයාට හෝ තරුණයාට සුදුසු වන්දියක් ගෙවන ලෙස වරදකරුට නියෝග කිරීමට ද අධිකරණයට අභිමතය පරිදි කටයුතු කළ හැකිය.
Comments
Moderated before publishing. Your email stays private.