Swipe left or right to navigate stories
ද්විභාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ විද්‍යාපීඨ උපාධි ආයතන කිරීම කඩිනම් කෙරේ

ද්විභාෂා අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ විද්‍යාපීඨ උපාධි ආයතන කිරීම කඩිනම් කෙරේ

පාසල් අධ්‍යාපනය තුළ ද්විභාෂා අධ්‍යාපන ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ උපාධි පිරිනමන ආයතන බවට පරිවර්තනය කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමාලෝචනයක් පවත්වා තිබේ.

ඊයේ (17 වැනිදා) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුවේදී මෙම කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

නව ව්‍යුහාත්මක හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බවත්, ද්විභාෂා අධ්‍යයන අවස්ථා වඩාත් විධිමත්ව සමාලෝචනය කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය එහිදී අවධාරණය කළාය.



ඩිජිටල් පරිවර්තනය, නව විෂයමාලා සහ 'RIES' වෙබ් අඩවිය

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ඉදිරියේදී මතුවිය හැකි අභියෝග ජය ගැනීමටත් අදාළව පහත ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය මෙහිදී විශේෂ අවධානයට ලක්විය.

ඩිජිටල්කරණය සහ NEMIS පද්ධතිය: ඩිජිටල් කාර්ය සාධක බලකාය මඟින් පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට සහ ඩිජිටල් ඉගෙනුම් මෙවලම් හඳුන්වාදීමට ගෙන ඇති පියවර මෙන්ම ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ ඉදිරි කටයුතු විමසා බැලිණි.

විෂයමාලා සහ යටිතල පහසුකම්: නව විෂයමාලා සංවර්ධනය, ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රමවේද, පරිපාලන ප්‍රතිසංස්කරණ, පාසල් යටිතල පහසුකම් සංවර්ධනය සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනය කෙරිණි.

ගුරු පුහුණුව සහ මහජන සන්නිවේදනය: ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ නිලධාරීන්ගේ වෘත්තීය ධාරිතාව නැංවීමේ පුහුණු වැඩසටහන් මෙන්ම ප්‍රතිසංස්කරණ පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීමට හඳුන්වා දී ඇති 'RIES' (Reform Information and Equity Service) වෙබ් අඩවියේ ක්‍රියාකාරීත්වයද අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු විය.



අමාත්‍යවරුන් සහ අධ්‍යාපන ප්‍රධානීන්ගේ සහභාගීත්වය

මෙම මෙහෙයුම් කමිටු රැස්වීම සඳහා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඕ.ජී. දයාරත්න බණ්ඩා යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයීය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem