හෝමාගම පොලිස් භාරයේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු අභිරහස් ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ලැබුණු නියෝග මත හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) සේවයද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද විශේෂ දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
පොලිස් නිලධාරීන් 4කගේ වැඩ තහනම්
මීට පෙර මෙම සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබූ අතර මූලස්ථාන OIC වරයාගේ වැඩ තහනම් කිරීමත් සමඟ සේවය අත්හිටුවූ සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් තිබේ. සේවය අත්හිටුවන ලද නිලධාරීන් වන්නේ,
- හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා (HQI)
- අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා (OIC)
- දූෂණ මර්දන වැටලීම් ඒකකයේ ස්ථානාධිපති (SI)
- පොලිස් සැරයන්වරයෙක්
සිද්ධියේ පසුබිම සහ රස පරීක්ෂක වාර්තා
පසුගිය ඔක්තෝබර් 25 වැනිදා මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි.
පොලිස් නිලධාරීන් එල්ල කළ අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට මියගිය තරුණයාගේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කරයි.
අදාළ තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වන විට පවත්වා අවසන් කර ඇති අතර මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා සිරුරු කොටස් වැඩිදුර විමර්ශන උදෙසා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද කටයුතු යොදා තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.