මත්ද්‍රව්‍ය විමර්ශනයකට අදාළව හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රඳවා සිටි තරුණයෙකු මියගොස් ඇති අතර පොලිස් නිලධාරීන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවට මියගිය අයගේ ඥාතීන් චෝදනා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති තරුණයෙකි.
ප්‍රතිකාර පමා කළ බවට චෝදනා
මියගිය තරුණයාගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුට තනිව ඇවිද යාමට නොහැකි මට්ටමක සිටි බැවින් පොලිස් නිලධාරීන් විසින් ඔහුව ඔසවාගෙන විත් සිරමැදිරියට දමා ඇති බවයි. එම අවස්ථාවේදීත් ඔහුගේ මුඛයෙන් ලේ ගලමින් තිබූ බවත්, ශරීරයේ බාහිර තුවාල දැකගත හැකි වූ බවත් ඔවුහු සඳහන් කරති.
ඥාතීන් විසින් ප්‍රතිකාර ලබා දෙන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් නොසලකා හරිමින් සිට පසුව හෝමාගම මූලික රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවට පවුලේ අය වැඩිදුරටත් චෝදනා කරති.
මේ අතර සමාජ ක්‍රියාකාරී වසන්ත මුදලිගේ සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන්නේ, තරුණයාට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඔහු සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අනෙක් තරුණයාට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳවද බරපතළ ගැටලුවක් මතුව ඇති බවත්ය.
පොලිසියේ ප්‍රකාශයන්
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ අදාළ තරුණයා අත්අඩංගුවේ පසුවන අතරතුර හදිසි රෝගී තත්ත්වයක් හටගැනීම නිසා රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් එහිදී ඔහු මියගොස් ඇති බවත්ය.
හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් මහතා තහවුරු කළේය.
මරණයට නිශ්චිත හේතුව සහ සිද්ධියේ පසුබිම අනාවරණය කර ගැනීම සඳහා වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) දින පැවැත්වීමට නියමිතව තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.