අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කරන ලදැයි කියන සිද්ධියට අදාළ පොලිස් විමර්ශන පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ අධීක්ෂණයෙන් පසුවන බව රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ මහත්මිය විවෘත අධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා ඉදිරියේ අද (26) කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු වරට පෙනී සිටිමින් ඇය මේ බව සඳහන් කළාය.
ඩී.එන්.ඒ. සහ දුරකථන විශ්ලේෂණ වාර්තා
මෙහිදී විමර්ශනවල ප්රගතිය පිළිබඳව ප්රධාන මහේස්ත්රාත්වරයා නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමසා සිටි අතර ඊට ප්රතිචාර දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගණවර්ධන මහතා ප්රකාශ කළේ සිද්ධියට අදාළ මුල් ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තාව දැනටමත් ලැබී ඇති අතර දෙවැනි ඩී.එන්.ඒ. වාර්තාව ලැබීමට නියමිත බවය.
සැකකාර හිමිනමගේ, වින්දිත දැරියගේ සහ ඇගේ මවගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා දැනටමත් අධිකරණයට භාර දී ඇති බව සඳහන් කළ ප්රධාන පොලිස් පරීක්ෂකවරයා, ඉදිරි විමර්ශන ප්රගතිය වාර්තා කිරීමට දිනයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.
සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්රතිස්ස මහතා ප්රකාශ කළේ සිද්ධිය තවමත් විමර්ශන මට්ටමේ පවතින බැවින් තමන් විශේෂ කරුණු දැක්වීමක් සිදු නොකරන බවය.
දැරිය සිටින ස්ථානය රහසිගතව තබන්නැයි නියෝග
වින්දිත දැරිය මේ වන විට මනෝ උපදේශනය සඳහා යොමු කරමින් පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ආරක්ෂිතව රඳවා සිටින බව පරිවාස නිලධාරිනිය අධිකරණයට දැනුම් දුන්නාය.
එහිදී ඇය දැරිය සිටින ස්ථානය හෙළි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ප්රධාන මහේස්ත්රාත්වරයා වහාම ඇයට දැනුම් දුන්නේ දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය රඳවා සිටින ස්ථානය ප්රසිද්ධියේ හෙළි නොකරන ලෙසය.
නඩුව අගෝස්තු 21ට කල් යයි
සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙස නිට්ටඹුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළ අතර නඩුව එළඹෙන අගෝස්තු මස 21 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.
නඩුවේ පළමු සැකකරු වන පල්ලේගම හේමරතන හිමියන් සහ දෙවැනි සැකකාරිය වන වින්දිත දැරියගේ මවද අද දින අධිකරණයේ පෙනී සිටියහ.
මහා සංඝරත්නය අධිකරණයට වඩිති
මේ අතර මෙම ආන්දෝලනාත්මක නඩු විභාගය නැරඹීම සඳහා අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති පූජ්ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි, රුවන්වැලි චෛත්යාරාමාධිපති, අභයගිරිය, ලංකාරාමය සහ ථූපාරාමය ඇතුළු අනුරාධපුර ප්රධාන විහාරස්ථානවල විහාරාධිපති නාහිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක්ද විවෘත අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.
Comments
Moderated before publishing. Your email stays private.