Swipe left or right to navigate stories
හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට මිලියන 2.5ක මූල්‍ය අනුග්‍රහයක්

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට මිලියන 2.5ක මූල්‍ය අනුග්‍රහයක්

ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාව ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගෙන යාමේ අරමුණින් සංවිධානය කරනු ලබන "Javelin Fiesta" නවක ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ වැඩසටහනේ ප්‍රථම අදියර එළඹෙන ජූලි 31 වැනිදා මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වේ.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී මෙම වැඩසටහනේ සන්නාම තානාපති ලෙස කටයුතු කරන ජාත්‍යන්තර මට්ටමේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ඉදිරි පුහුණුවීම් සහ ක්‍රීඩා සැලසුම් වෙනුවෙන් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 2.5 ක (ලක්ෂ 25 ක) මූල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත අමාත්‍යවරයා අතින් පිරිනමන ලදී.



තේරීම් ක්‍රමවේදය

පාසල්, ක්‍රීඩා සමාජ, ක්‍රීඩා පාසල් සහ විවෘත අංශ ඔස්සේ මධ්‍යම පළාතේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන්ට විද්‍යාත්මක පුහුණුවක් ලබා දී ජාතික සංචිතය දක්වා යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව මෙම තේරීම් තරගාවලිය අවුරුදු 16න් පහළ, 18න් පහළ, 20න් පහළ සහ විවෘත අංශය ලෙස ගැහැණු හා පිරිමි දෙඅංශයෙන්ම ආවරණය වන පරිදි සමස්ත කාණ්ඩ 8 යටතේ පැවැත්වේ. මෙහිදී එක් කාණ්ඩයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු බැගින් තෝරා ගැනීමට විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කෙරේ.

එහි ප්‍රථම පියවර ලෙස ශාරීරික හැකියාවන් ඇගයීමේ පරීක්ෂණ හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙකුත්, දෙවනුව හෙල්ල විසි කිරීමේ විශේෂිත තාක්ෂණික පරීක්ෂණ හරහා තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙකුත් ලෙස මෙම තේරීම් සිදු කිරීමට නියමිතය.



මධ්‍යම පළාත් සංචිතය

ඒ අනුව මධ්‍යම පළාතෙන් තෝරාගන්නා සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 64 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම පළාත් සංචිතය ස්ථාපිත කිරීමට නියමිතය.

පළාත් මට්ටමින් ආරම්භ වන මෙම වැඩසටහන ඔස්සේ ඉදිරියේදී සමස්ත ලංකා මට්ටමින් විශිෂ්ටයින් හඳුනාගනිමින්, ජාතික මට්ටමේ කඳවුරු සහ විශේෂ පුහුණු වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා දිය හැකි අනාගත තාරකාවන් බිහිකිරීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.

මෙම මාධ්‍ය හමුව සඳහා නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන්, ක්‍රීඩා සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, වැඩසටහන් සංවිධායක/හිටපු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක හර්ෂණ කින්ස්ලි ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem