පසුගිය සිකුරාදා අවාසනාවන්ත ලෙස වෙඩි වැදීමකින් මියගිය මෙරට 35 වන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ. මියයන විට ඒ මහතා 63 හැවිරිදි වියේ පසුවිය.
1986 වසරේදී ශ්රී ලංකා පොලිස් සේවයට එක්වූ වික්රමරත්න මහතා, 2019 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.
අනතුරුව 2020 නොවැම්බර් 27 වනදා ඔහු මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් ධුරයේ වැඩ භාරගත්තේය. 2023 මාර්තු මාසයේදී විශ්රාම යාමට නියමිතව සිටියද, එවකට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ලබාදුන් සේවා දිගු කිහිපයකින් පසුව ඔහු 2023 නොවැම්බර් 23 වනදා සේවයෙන් විශ්රාම ලැබීය.
පශ්චාත් මරණ පරීක්ෂණය
මේ අතර හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදී ඇත.
මරණයට නිශ්චිත හේතුව තහවුරු කරගැනීම සඳහා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටද පියවර ගෙන තිබේ.
විමර්ශන තවදුරටත්
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.
විමර්ශනවලට අදාළව වික්රමරත්න මහතාගේ බිරිඳගෙන් සහ ඔහුට අනුයුක්ත කර සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් මේ වන විට ප්රකාශ සටහන් කරගෙන ඇත.
හිටපු පොලිස්පතිවරයා සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සිදුවීමට යොදාගත් බව කියන අදාළ ගිනි අවියද වැඩිදුර බැලස්ටික් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.