2008 සහ 2009 වසරවල කොළඹ තදාසන්න ප්රදේශවලින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
මීට පෙර අධිකරණය නිකුත් කර තිබූ නොතීසියකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න මහතා සඳහන් කළේ මීට පෙරද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි තම සේවාදායකයා නීතිපති උපදෙස් මත නිදහස් කර තිබූ බවය.
චෝදනා පත්රය
අනතුරුව සැකකරුට අදාළ චෝදනා පත්රය අද දින විවෘත අධිකරණයේදී කියවන ලදි. අදාළ අතුරුදන්වීමේ සිද්ධියේ සැකකරුවෙකු වන චන්දන හෙට්ටිආරච්චි නමැත්තාට සැඟව සිටීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත් විය.
කෙසේ වෙතත් එම චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය නීතියට පටහැනි බවට විත්තිපාර්ශවයේ නීතිඥවරයා තර්ක කළ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විධිමත් විමර්ශනයකින් පසුව මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බවය.
ඉදිරිපත් වූ සියලු චෝදනාවලට තමන් නිවැරදිකරු බව හිටපු නාවික හමුදාපතිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඇප නියෝගය
කරුණු සලකා බලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියෝග කළේය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියේ ප්රධාන සාක්ෂිකරු දේශපාලන රැකවරණ පතා දැනට ස්විට්සර්ලන්තයේ පසුවන බැවින් විදේශ කටයුතු අමාත්යාංශය හරහා අදාළ සිතාසි නිකුත් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසය.
ඒ අනුව සිතාසි ඉංග්රීසි භාෂාවෙන් නිකුත් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්රාත්වරයා, නඩුව නැවතත් දෙසැම්බර් 9 වැනිදා කැඳවීමට නියම කළේය.
Comments
Moderated before publishing. Your email stays private.