පසුගිය සතියේ පොලිසිය සමග ඇති කරගත් නොසන්සුන්කාරී තත්ත්වයකින් පසුව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් වීරවංශ මහතා, අද කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කටඋත්තරයක් ලබාදීම සඳහා අද (25) උදෑසන තලංගම පොලිස් ස්ථානයට කැඳවීමෙන් අනතුරුව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය මැයි 18 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය අසල බත්තරමුල්ල රණවිරු ස්මාරක භූමියේදී පොලිසිය සමග ඇතිකරගත් බහින්බස්වීමකින් පසුව වීරවංශ මහතා මෙලෙස කැඳවා ඇති බව පසුගිය සතියේ වාර්තා විය.
විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව වීරවංශ මහතාගේ සමාජ මාධ්ය ගිණුමක පළ කළ සටහනකින්ද තහවුරු කර තිබේ.
පසුබිම
ජාතික රණවිරු අනුස්මරණ දිනය (මැයි 19) වෙනුවෙන් පෙරහුරු කටයුතු සිදුවෙමින් පවතින අතරතුර මැයි 18 වැනිදා වීරවංශ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් රණවිරු ස්මාරකය වෙත ඇතුළු වීමට උත්සාහ කර ඇත.
සමාජ මාධ්යවල බහුලව සංසරණය වූ වීඩියෝ දර්ශනවල ස්මාරක භූමියට ඇතුළු වීම වැළැක්වූ පොලිස් නිලධාරියෙකු වීරවංශ මහතා විසින් තල්ලු කරනු දක්නට ලැබුණි.
අනතුරුව වීරවංශ මහතා පොලිස් ජීප් රථයකට නැගී එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු නිදහස් කර ගැනීමටද මැදිහත් විය.
පොලිස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වීරවංශ මහතාට සහ ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය එදිනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වීරවංශ මහතා සහ 35 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් නිල රාජකාරි සහ පෙරහුරු කටයුතුවලට බාධා වන අයුරින් අවසරයකින් තොරව ස්මාරක පරිශ්රයට ඇතුළු වීමට උත්සාහ කර ඇති බව පොලිසිය පැවසීය.
කෙසේ වෙතත් මාධ්ය වෙත අදහස් දක්වමින් වීරවංශ මහතා පසුව කියා සිටියේ පසුගිය වසරේ මෙන්ම තමන්ටද පුෂ්පෝපහාර දක්වා පිටව යාමට පමණක් අවශ්ය වූ බවයි.
Comments
Moderated before publishing. Your email stays private.