රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්රණය කළ බවට නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' ඇතුළු පස්දෙනෙකුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබූ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.
විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය ලබාදී ඇත.
කෙසේ වෙතත් දණ්ඩ නීති සංග්රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නඩුවේ පසුබිම සහ තර්ක විතර්ක
අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සහ නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු පිරිස මූලික විරෝධතා මතු කරමින් පෙන්වා දුන්නේ, ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(අ) වගන්තිය යටතේ චෝදනා ගොනු කර තිබුණද, විත්තිකරුවන් කළ වරද කුමක්දැයි පැමිණිල්ල නිශ්චිතව දක්වා නොමැති බවය. එම නිසා PTA පනත යටතේ අදාළ චෝදනා ඉදිරියට ගෙන යා නොහැකි බව විත්තිය තර්ක කළේය.
ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ, අදාළ චෝදනා ත්රස්තවාදය වැළැක්වීමේ පනතට අයත් වේද නැද්ද යන්න තීරණය කළ හැක්කේ සාක්ෂි විභාගයෙන් පසුව බවය. එසේම නීතිපතිවරයාගේ අධිචෝදනාවල වලංගුභාවය මහාධිකරණය හමුවේ ප්රශ්න කළ නොහැකි බවද රජයේ නීතිඥවරයා ප්රකාශ කළේය.
ඇප ඉල්ලීම ලබන 3 වැනිදාට
දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දු කළේය. මෙම නියෝගයෙන් පසුව විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් විසින් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ නියෝගය ලබන 3 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නඳුන් චින්තක වික්රමරත්න (හරක් කටා), අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ හිටපු පොලිස් කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර (මිදිගම රුවන්) සහ සංජය අබේසිංහ යන අය නම් කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.