හදවත් සැත්කම් සඳහා රෝගීන් දස දහසකට අධික ප්රමාණයක් රජයේ රෝහල් පද්ධතිය තුළ පොරොත්තු ලේඛනවල පසුවන බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය චමල් සංජීව පවසයි.
ඇතැම් රෝගීන්ට සැත්කම් සඳහා ලබා දී ඇති දිනයන් 2029 වසර දක්වා දීර්ඝ වීම නිසා එම රෝගීන් දැඩි අපහසුතාවන්ට මුහුණදී ඇති බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ, මහනුවර, ගාල්ල, අනුරාධපුරය, යාපනය සහ මඩකළපුව යන ප්රධාන රෝහල්වල පවතින මෙම තත්ත්වය හේතුවෙන් හෘද රෝගීන් දැඩි ජීවිත අවදානමකට ලක්ව ඇති බවද වෛද්ය චමල් සංජීව පෙන්වා දෙයි.
පසුබිම
හදවත් සැත්කම් සිදුකිරීම සඳහා ජනාධිපති අරමුදලෙන් මුදලක් වෙන් කරන බව රජය ප්රකාශ කළද, එම ක්රියාවලිය ප්රායෝගිකව ක්රියාත්මක වන බවක් නිරීක්ෂණය නොවන බව සංජීව මහතා අවධාරණය කරයි.
රජයේ රෝහල්වල පවතින සැත්කම් උපකරණ හිඟය සහ අත්යවශ්ය රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට සිදුවීම හේතුවෙන් ආර්ථික අපහසුතාවලින් පෙළෙන රෝගීන් බෙහෙවින් අසරණව ඇතැයි ඔහු කියා සිටියි.
පුද්ගලික රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීමට උත්සාහ කළද, මේ වන විට එහි පිරිවැය සාමාන්ය ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති අතර බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් එකක් දැමීම සඳහා මූලික ගාස්තුව රුපියල් ලක්ෂ 15 සීමාවට පැමිණ ඇති බවද ඔහු පෙන්වා දෙයි.
හදවත් රෝග මරණ
ඉකුත් වසරේ (2025) සෞඛ්ය අමාත්යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින් අමාත්ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ බයිපාස් සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛන සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවය.
ශ්රී ලංකාවේ සිදුවන මරණවලින් 80% ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, ඉන් 34% ක් පමණ හෘද රෝග හේතුවෙන් සිදුවන බවත් සඳහන් කළ අමත්යවරයා, දැනට ජාතික රෝහලේ වාර්ෂිකව කළ හැක්කේ බයිපාස් සැත්කම් 700-900ත් අතර ප්රමාණයක් පමණක් බවද කියා සිටියේය.
අමාත්යවරයා ඉදිරිපත් කළ දත්තවලට අනුව කොළඹ ජාතික රෝහලේ බයිපාස් සැත්කම් සඳහා වන පොරොත්තු ලේඛනය 9,600 ක් පමණ වූ අතර ඇතැම් රෝගීන්ට ප්රතිකාර ලබාගැනීම සඳහා වසර පහක් පමණ බලා සිටීමට සිදුව තිබිණ.
Comments
Moderated before publishing. Your email stays private.