Swipe left or right to navigate stories
හතුරුසිංහට කෝටි 6 ක වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ වෙයි

හතුරුසිංහට කෝටි 6 ක වන්දියක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ ගිවිසුම ඒකපාර්ශවිකව අහෝසි කිරීමට එරෙහිව ඇතිවූ නීතිමය ආරවුල අවසන් කරමින්, ඔහුට ඇමරිකානු ඩොලර් 1,64,000ක (මෙරට මුදලින් රුපියල් කෝටි හයකට ආසන්න) වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළකර තිබේ.

ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කාර අධිකරණය හමුවේ හතුරුසිංහ මහතා ගොනුකර තිබූ පැමිණිල්ල කොන්දේසි සහිතව ඉල්ලා අස්කර ගැනීමට එකඟ වීමත් සමග මෙම වන්දි මුදල ගෙවීමට දෙපාර්ශවය අතර එකඟතාව ඇතිවී ඇත.



ඉවත් කිරීමේ පසුබිම

2017 වසරේදී බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ සාර්ථකම පුහුණුකරුවෙකුව සිටි හතුරුසිංහ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයෙන් වසර 3 ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්විය.

කෙසේ වෙතත් 2019 වන විට කණ්ඩායමේ පසුබෑම සහ විනය චෝදනා කිහිපයක් මුල් කරගනිමින් ඔහුට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ක්‍රිකට් ආයතනය බලපෑම් කළේය.

සම්පූර්ණ ගිවිසුම් කාලයට අදාළ ගෙවීම් ලබා දෙන්නේ නම් ඉල්ලා අස්වීමට සූදානම් බව හතුරුසිංහ මහතා ප්‍රකාශ කළද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා පත්‍රයක් භාර දෙමින් ඔහුගේ සේවය හදිසියේ අවසන් කිරීමට පියවර ගත්තේය.



වන්දි මුදල අඩුවූ ආකාරය

තම ආදායම අහිමි වීම සහ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් හතුරුසිංහ මහතා ආරම්භයේදී ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටි අතර පසුව එය ඩොලර් මිලියන 4.5 දක්වා පහත හෙළන ලදී.

මෙම ආරවුල සඳහා වැය වන අධික නීතිමය වියදම් වළක්වා ගැනීම සඳහා ප්‍රශ්නය එකඟතාවයකින් විසඳාගන්නා ලෙස පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවද යෝජනා කර තිබිණි.

ඒ අනුව අවසානයේ ඩොලර් 1,64,000 ක මුදලකට මෙම නීතිමය කටයුත්ත අවසන් කිරීමට දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ ඇත.



පුහුණුකාරීත්වය දැරූ කාලය

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ ශ්‍රී ලංකා පිල තරග රටා ත්‍රිත්වයෙන්ම පසුබෑමකට ලක්විය.

ඔහු යටතේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 21 න්, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තරග 6 ක් පමණක් වන අතර තරග 11 ක් පරාජයට පත් විය.

එමෙන්ම ඔහු පුහුණුකාරීත්වය දැරූ එක්දින තරග 44 න් තරග 29 ක්ම ශ්‍රී ලංකාව පරාජය වූ අතර ජයග්‍රහණය කිරීමට හැකි වූයේ තරග 10 ක් පමණි. ඊට අමතරව විස්සයි-20 තරග 12 කටද සහභාගි වූ ශ්‍රී ලංකා පිල, ඉන් තරග 4 ක් ජයගෙන තරග 8 ක් පරාජයට පත් විය.



ජාත්‍යන්තර අත්දැකීම්

මේ වන විට 57 වියේ පසුවන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ සේවයෙන් ඉවත් වීමෙන් පසු 2023 වසරේදී නැවතත් බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව වැනි රටවලද පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති ඔහු, ටෙස්ට් තරග 26 කදී සහ එක්දින තරග 35 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත. දැනට ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem