Swipe left or right to navigate stories
සෙනුර සිල්වා මේසපන්දු ලෝක ශූරතාවලියකට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

සෙනුර සිල්වා මේසපන්දු ලෝක ශූරතාවලියකට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

එදා මෙදා තුර ශ්‍රී ලංකා මේසපන්දු ඉතිහාසය තුළ ලෝක මේසපන්දු ශූරතාවලියකට ඍජුවම සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට 21 හැවිරිදි සෙනුර සිල්වා පසුගියදා සමත් විය.

ඔහු එම අවස්ථාව උදාකර ගත්තේ උස්බැකිස්තානයේදී පැවැති ආසියානු මේසපන්දු තරගාවලියේදී ක්‍රීඩකයන් 128 දෙනෙක් අතරින් අවසන් 24 දෙනා අතරට සුදුසුකම් ලබාගනිමිනි.

ඒ් අනුව ඔහුට 2027 වසරේ කසකස්තානයේදී පැවැත්වෙන ලෝක මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල ඉසව්ව යටතේ තරග වැදීමට අවස්ථාව හිමිවිය.



පසුබිම

සෙනුරගේ මෙම ජයග්‍රහණය ඔහුගේ පෞද්ගලික දක්ෂතාවයේ ප්‍රතිඵලයක් පමණක් නොව, කුඩා කල සිට කැපවීමෙන් සිදුකළ පුහුණුවීම්, මව්පියන්ගේ කැපවීම සහ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යාමේ ප්‍රතිඵලයකි.

සෙනුරගේ මේස පන්දු ගමනේ මුල් පියවරේ සිටම ඔහුගේ පියා වන හිටපු ජාතික මේස පන්දු ශූර ඉන්දික ප්‍රසාද් සහ මව වන හිටපු ජාතික ශූරී දීපිකා රොඩ්‍රිගෝ ඔහුට මඟපෙන්වීම ලබා දුන්නේහ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු, කිහිප වරක්ම ජාතික කණිෂ්ඨ ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව, 2020 වසරේදී ජාතික මේසපන්දු ශූරතාව දිනාගනිමින් සිය දක්ෂතා රටට පෙන්වා දුන්නේය.



අනුග්‍රහයක් නොමැතිව පැමිණි ගමනක්

සෙනුර මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටිමින් පුහුණුවීම් සහ තරග සඳහා සහභාගි වන අතර එම කටයුතු සඳහා වැයවන වියදම් දරන්නේ ඔහුගේ මව්පියන්ගේ පෞද්ගලික මුදලිනි.

ඇමරිකාවේ මේජර් ලීග් මේසපන්දු තරගාවලිය තුළද දක්ෂතා දක්වන සෙනුරට, ඇමරිකාවේ පුහුණුවීම් සිදු කිරීම හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තිබූ අවස්ථා අහිමි වී තිබේ.

වසර හතරකට පසුව ශ්‍රී ලංකාවට පැමිණි සෙනුරට, ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ පැරණි තේරීම් ක්‍රමවේදය වෙනස් කිරීම මත ආසියානු මේස පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි විය.



ආසියානු ශූරතාවලියේ දක්ෂතා

උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවති ආසියානු මේසපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කළ සෙනුර, මූලික වටයේදී උස්බැකිස්තාන ක්‍රීඩක ඉස්කන්ඩරොව් ශෝඛ්රුඛ්ට එරෙහිව වට 3-2 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වටයට පිවිසියේය.

දෙවැනි වටයේදී ජපන් ක්‍රීඩක මට්සුෂිමා සෝරා තරගයට සහභාගි නොවීම හේතුවෙන් නිතරඟ ජයක් ලබා සෙනුර අවසන් 32 ගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

අවසන් 32 ගේ වටයේදී කොරියානු ක්‍රීඩක ග්යුයියෝන් පාර්ක් හමුවේ වට 3-0 කින් පරාජයට පත්වුවත්, ඉන් අනතුරුව 17 ත් 32 ත් අතර ස්ථාන වෙනුවෙන් පැවැති තරගයකදී හොංකොං ක්‍රීඩක යියු ක්වාන්ට එරෙහිව වට 3–2 ක ජයක් වාර්තා කරමින් දැක්වූ දක්ෂතාව ඔහුට ලෝක ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ ප්‍රමාණවත් විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem