දිවයින පුරා ක්‍රියාත්මක වන ‘1990 සුවසැරිය’ නොමිලේ පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවාවේ රථ බලඇණිය නවීකරණය කිරීම වෙනුවෙන්, ඉන්දීය රජයෙන් පිරිනැමෙන සෘජු මූල්‍ය ප්‍රදානයක් යටතේ නවීනතම ගිලන්රථ 100ක් ලබාගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
හෙට (11) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රජය අතර මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) තහවුරු කළේය.
සුවසැරිය රථ බලඇණියට නව පණක්
සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුව, ඉන්දීය රජයෙන් හිමිවන මෙම නව ගිලන්රථ සියල්ලම නවීන වෛද්‍ය උපකරණ සහ ජීවිතාරක්ෂක පහසුකම්වලින් පූර්ණ ලෙස සන්නද්ධව මෙරටට ලැබෙනු ඇත.
දැනට සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය කරමින් ගිලන්රථ 322ක් මඟින් දිනපතා හදිසි රෝගී ප්‍රවාහන 1,200ක් පමණ සිදුකරන අතර අඛණ්ඩ ධාවනය හේතුවෙන් එම රථවල පවතින දැඩි යාන්ත්‍රික ක්ෂයවීම් සහ අබලන්වීම් මඟහරවා ගැනීමට මෙම නව රථ 100 කඩිනමින් එක් කෙරේ.
වසරකට කිලෝමීටර් මිලියන 9ක අඛණ්ඩ මෙහෙයුමක්
2016 වසරේදී ඉන්දීය මූල්‍ය ආධාර ඇතිව ආරම්භ වී 2018 දී දිවයින පුරා ව්‍යාප්ත කෙරුණු සුවසැරිය සේවාව, වාර්ෂිකව ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන නවයක (කි.මී. 9,000,000) දැවැන්ත මෙහෙයුම් ධාවනයක නිරත වෙයි.
පවතින අධික මෙහෙයුම් ඉල්ලුම හමුවේ මහජනතාවට ලැබෙන හදිසි ප්‍රතිකාර සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය මෙම සෘජු ප්රදානය ලබා දී තිබේ.
Comments
Moderated before publishing. Your email stays private.