අත්අඩංගුවේ පසුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලෙන් පිටකිරීමට සුදුසු බවට වෛද්ය මණ්ඩලය ලබා දුන් නිර්දේශයට අනුව අද (06) සවස ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට නියමිතව ඇත.
සලේ මහතාට ප්රතිකාර කරන වෛද්යවරුන් 10 දෙනා විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින් ඔහුව රෝහලෙන් පිටකිරීමට නිර්දේශ කර ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
රෝහලෙන් පිටකිරීමෙන් අනතුරුව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන බවත්, එහිදී අදාළ නඩුවට හිමි විමර්ශන කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
හෘද රෝගී තත්ත්වය සහ වෛද්ය උපකරණ
2019 පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු කටයුතු පැවැත්වෙන සැකකරුවන් තිදෙනා අතර සලේ මහතාද වේ. විශ්රාමික මේජර් ජෙනරාල් සලේ මහතා ජූනි 07 වැනිදා සිට ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අනුබද්ධ හදිසි ප්රතිකාර ඒකකය ඇතුළු අංශයන්හි ප්රතිකාර ලබමින් සිටියේය.
නවදෙනෙකුගෙන් යුත් වෛද්ය මණ්ඩලයක් විසින් මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ වෛද්ය වාර්තාවක සඳහන් වූයේ සලේ මහතාගේ හදවත විශාල වීමේ තත්ත්වයක් වර්ධනය වී ඇති බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා වෛද්ය උපකරණයක් සවි කර ඇති බවත්ය.
එම උපකරණය වෙනුවෙන් රුපියල් මිලියන 4 කට ආසන්න මහජන මුදලක් වැය කර ඇති බව පැමිණිලි පාර්ශවය අධිකරණයට දැනුම් දුන්නේය.
අධිකරණ නියෝග සහ මුරපද ගැටලුව
සලේ මහතාට ප්රතිකාර කරන වෛද්යවරුන් 10 දෙනාට අද දින කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අධිකරණය විසින් මීට පෙර නොතීසි නිකුත් කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවය.
එසේම සලේ මහතාගේ හෘද රෝගී තත්ත්වය සහ මානසික සෞඛ්ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවත්, ඔහුගේ දන්ත රෝගී තත්ත්වය සුව වූ පසු රෝහලෙන් පිටකළ හැකි බවත් අධිකරණයට දැනුම් දී තිබුණි.
මීට පෙර පැවැති නඩු විභාගයකදී, අධිකරණ නියෝගයක් තිබියදීත් සලේ මහතාගේ ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනවල මුරපද ලබා දී නොමැති බවට පැමිණිලි පාර්ශවය කරුණු මතු කළ අතර හමුදා බුද්ධි අංශ නිලධාරීන් ආරක්ෂක හේතූන් මත නිතර මුරපද වෙනස් කරන බවට විත්ති පාර්ශවය කරුණු දක්වන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්රගති වාර්තාව ඔක්තෝබර් 21 වැනිදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.