Swipe left or right to navigate stories
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිවූ දේශපාලනඥයන් 6කට නඩු

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිවූ දේශපාලනඥයන් 6කට නඩු

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ දේශපාලන ක්‍රියාකාරීන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (5) නියෝග කළේය.

ඒ් පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයකදී, අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් අදහස් දැක්වූ බවට ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පදනම් කරගනිමිනි.

ඔවුන් විසින් පළ කර ඇති අදහස්වලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය වී ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට ඇතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගනිමින් මෙම නියෝගය ලබා දුන්නේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ, පසුගිය ජූලි 7 සහ 15 අතර කාලයේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අතරතුරදී මොවුන් අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇති බවය.

මාධ්‍ය ආයතන දහයකින් (10) ලබාගත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමේදී, අදාළ පුද්ගලයන් අධිකරණය සහ අධිකරණ පද්ධතිය විවේචනය කරන අන්දමින් අදහස් පළ කර ඇති බවට තහවුරු වූ බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දැනුම් දුන්නේය.



මහජන අප්‍රසාදයක් ඇති කිරීම

ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ලත් නිල ස්ථානයක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සුරේෂ් සලේ මහතා රඳවාගෙන සිටියදී, මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව "වධකාගාරයක්" ලෙස හුවා දක්වමින් අදහස් පළ කර ඇති බව පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම සැකකාර සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදීද, මෙම පිරිස යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය කෙරෙහි මහජනතාව තුළ අප්‍රසාදයක් සහ සැකයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදුකර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුකරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස් පරීක්ෂකවරයා කළ ඉල්ලීමට කොටුව මහේස්ත්‍රාත්වරයාගේ අනුමැතිය හිමි විය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem