ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම නියාමනය කිරීම අරමුණු කරගනිමින් රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්යාංශය විසින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙනු ලැබ තිබේ.
සුනඛයින්ට එන්නත් කිරීම නියාමනය කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජමය අරමුණු සඳහා සුනඛයින් බෝ කිරීම නියාමනය කිරීම මෙම යෝජිත ව්යවස්ථාව මඟින් අපේක්ෂා කෙරේ.
එන්නත්කරණය සහ ලියාපදිංචිය
මෙම පනත් කෙටුම්පතට අනුව සෑම පළාත් පාලන ආයතනයකම පරිපාලන සීමාවන් තුළ සිටින සෑම සුනඛයෙකුටම වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබා දිය යුතු අතර අදාළ පළාත් පාලන ආයතනය සමඟ ලියාපදිංචි කළ යුතුය.
ඒ අනුව සති හයකට වැඩි වයසැති සුනඛයෙකු තමා භාරයේ තබා ගන්නා හිමිකරු හෝ ඕනෑම පුද්ගලයෙකු, එම සුනඛයාට ජලභීතිකා එන්නත ලබා දී ඇති බවත්, අදාළ පළාත් පාලන ආයතනය සමඟ වාර්ෂිකව ලියාපදිංචි කර ඇති බවත් තහවුරු කළ යුතු වේ.
එන්නත් කිරීම සහ එන්නත් සහතිකය නිකුත් කිරීමෙන් පසු නියමිත ලියාපදිංචි ගාස්තුව ගෙවා සුනඛයා ලියාපදිංචි කළ යුතු අතර ඉන්පසු අදාළ පළාත් පාලන ආයතනය මඟින් ලියාපදිංචි සහතිකයක් නිකුත් කරනු ලබයි. මෙලෙස සුනඛයින් ලියාපදිංචි නොකරන පුද්ගලයින් සඳහා රුපියල් 2,000ක දඩයක් නියම කර ඇත.
බෝ කිරීමේ මධ්යස්ථාන නියාමනය
මීට අමතරව සෑම පළාත් පාලන ආයතනයක්ම තම පරිපාලන ප්රදේශය තුළ සිටින සියලුම වීදි සුනඛයින් වඳභාවයට පත් කිරීමට අවශ්ය පියවර ගැනීම අනිවාර්ය කර තිබේ.
එමෙන්ම සුනඛයින් බෝ කිරීමේ මධ්යස්ථානයක් පවත්වාගෙන යන ඕනෑම අයෙකු බලපත්රයක් ලබා ගත යුතු අතර එවැනි බලපත්රයක් නොමැතිව වාණිජමය අරමුණු සඳහා සුනඛ පැටවුන් විකිණීමට අවසර නොදෙන බවද මෙම පනත් කෙටුම්පතින් යෝජනා කර ඇත.
Comments
Moderated before publishing. Your email stays private.