Swipe left or right to navigate stories
සියලු විපක්ෂ කණ්ඩායම් එකම වේදිකාවකට කැඳවීමේ නව දේශපාලන බලවේගයක් කරළියට

සියලු විපක්ෂ කණ්ඩායම් එකම වේදිකාවකට කැඳවීමේ නව දේශපාලන බලවේගයක් කරළියට

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මෙන්ම ඉන් බාහිරව සිටින සියලු විපක්ෂ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඒකරාශී කරගනිමින්, ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු වෙනුවෙන් හඬ නැගීම සඳහා නව ඒකාබද්ධ විපක්ෂ දේශපාලන බලවේගයක් ගොඩනැගීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවසති.

"A Team Next Wave" තේමාව යටතේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුරාධ ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මේ බව අනාවරණය කළහ.



මන්ත්‍රී අනුරාධ ජයරත්න

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ පසුගිය කාලසීමාවේ ඇති වූ මතවාදී අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රට වෙනුවෙන් වැඩ කළ හැකි, පළපුරුදු මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ඇති බවය.

"වත්මන් රජයේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී, රට නිවැරදි මාවතක මෙහෙයවිය හැකි පළපුරුදු සහ අත්දැකීම් සහිත කණ්ඩායමක අවශ්‍යතාවය අද සමාජය තුළ තදින්ම පැනනැගී තිබෙනවා. වත්මන් රජය අත්දැකීම් ලබාගැනීමට උත්සාහ කරමින් රට පාලනය කිරීමට ගියහොත් අවසානයේ ජනතාවට රටක් ඉතිරි වන්නේ නැහැ."

රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස තමන් පසුගිය 2022 වසරේදී බන්ධනාගාර පද්ධතිය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා වෙන්කර හඳුන්වා දුන් වැඩපිළිවෙළ වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවත්, මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ සිදුවීම්වලින් පෙනී යන්නේ බන්ධනාගාර තුළ පවතින තදබදය තවදුරටත් උග්‍ර වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එබැවින් සජබ, එජාප ඇතුළු සියලු විපක්ෂ බලවේගයන්හි අදහස් එක්තැන් කරමින්, රට නව දේශපාලන මාවතකට යොමු කිරීම සඳහා මෙම 'A Team' පුළුල් දේශපාලන ව්‍යාපාරය සමග එක්වන ලෙස ඒ මහතා විපක්ෂයේ සියලු කණ්ඩායම්වලින් ගෞරවයෙන් ඉල්ලා සිටියේය.



මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ වත්මන් දේශපාලන වටපිටාව තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන විපක්ෂ කණ්ඩායම් රැසක් පවතින අතර ඔවුන් සියල්ලන්ම පොදු අරමුණක් වෙනුවෙන් ඒකාබද්ධ කිරීම තම අරමුණ බවය.

"අද මෙරට ජනතාව මුහුණ දෙන දැඩි ආර්ථික පීඩනය, අසීමිත බදු බර, ගොවි ජනතාවගේ ගැටලු මෙන්ම වෘත්තිකයන් සහ තරුණ පරපුර මුහුණ දෙන අර්බුදයන් පිළිබඳව පාර්ලිමේන්තුව ඇතුළත මෙන්ම ඉන් පිටතදීත් ශක්තිමත් හඬක් නැගිය යුතුයි. ඒ සඳහා අපට පැහැදිලි අත්දැකීමක් සහ වගකීමක් තිබෙනවා."

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ස්වාධීනව සහ විවිධ කණ්ඩායම් ලෙස ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්ගේද එකමුතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මෙම නව විපක්ෂ බලවේගය ශක්තිමත්ව ඉදිරියට රැගෙන යන බවත්, සැබෑ විපක්ෂයක භූමිකාව ඉටුකරමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමට තමන් සූදානම් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem