2024 වසරේ සිට මෙරට සිනමා කර්මාන්තයට බලපා තිබූ දිගුකාලීන වැට් බදු ගැටලුවට විසඳුම් ලබා දෙමින්, 2027 ජාතික අයවැය හරහා සිනමා ප්‍රවේශපත්‍ර ආදායම මත වැට් බදු ගණනය කරන ආකාරය සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
නව යෝජනාවට අනුව මින් ඉදිරියට අලෙවි කරන සිනමා ප්‍රවේශපත්‍රවල සම්පූර්ණ වටිනාකම මත වැට් බදු වගකීම ගණනය නොකරන අතර ඒ වෙනුවට ප්‍රවේශපත්‍ර ආදායමෙන් එක් එක් පාර්ශ්වයට හිමිවන ආදායම් කොටස මත පමණක් ඔවුන්ගේ බදු වගකීම තීරණය කෙරේ.
තවද විනෝදාස්වාද බද්ද ලෙස පළාත් පාලන ආයතන වෙත වෙන් කෙරෙන කොටස තවදුරටත් වැට් බද්දෙන් නිදහස්ව පවතිනු ඇත.
යෝජිත නව ආදායම් බෙදාගැනීමේ සැලැස්ම
මෙම සංශෝධිත ක්‍රමවේදය යටතේ චිත්‍රපට නිෂ්පාදකයින්, සිනමාහල් හිමිකරුවන් සහ බෙදාහැරීමේ මණ්ඩල වෙත වෙන වෙනම වැට් බදු සඳහා ලියාපදිංචි වීමටත්, තමන්ට ලැබෙන ආදායම් කොටසට අනුව සාධාරණව බදු ගෙවීමටත් අවස්ථාව හිමිවේ.
ඒ අනුව යෝජිත ආදායම් බෙදාගැනීමේ අනුපාතයන් මෙසේය.
- වායුසමීකරණය කළ සිනමාහල්: සිනමාහල් හිමිකරුවන්ට 50%, චිත්‍රපට නිෂ්පාදකයින්ට 40% සහ බෙදාහැරීමේ මණ්ඩලවලට 10%
- වායුසමීකරණය නොකළ සිනමාහල්: සිනමාහල් හිමිකරුවන්ට 45%, චිත්‍රපට නිෂ්පාදකයින්ට 45% සහ බෙදාහැරීමේ මණ්ඩලවලට 10%
කර්මාන්තය මුහුණ දුන් දුෂ්කරතා සමනය වන බව ජාතික චිත්‍රපට සංස්ථාව කියයි
මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා පැහැදිලි කළේ, 2024 වසරේදී සිනමා කර්මාන්තයට වැට් බද්ද හඳුන්වා දීමෙන් පසුව බදු ලියාපදිංචිය, බදු එකතු කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීම් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවය.
චිත්‍රපට නිෂ්පාදකයින්, සිනමාහල් හිමිකරුවන්, බෙදාහැරීමේ මණ්ඩල සහ ජාතික චිත්‍රපට සංස්ථාව මුහුණ දුන් එම බාධාවන් සමනය කරමින් සමස්ත ක්ෂේත්‍රය පුරා සාධාරණ බදු රාමුවක් ස්ථාපිත කිරීම මෙම නව අයවැය යෝජනාවේ මූලික අරමුණ බව සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Moderated before publishing. Your email stays private.