එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් e-payments හෙවත් ඩිජිටල් ක්රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට අවශ්ය සියලු තාක්ෂණික හා යටිතල පහසුකම් සූදානම් කර ඇති බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනය කරයි.
එමෙන්ම රජය විසින් ක්රියාත්මක කිරීමට නියමිත ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේ මෙරට ප්රථම ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර (2026) අවසන් වීමට පෙර නිකුත් කිරීමට නියමිත බවද තහවුරු කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති ඩිජිටල් ආර්ථික අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ව්යාපෘතිවල ප්රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි මෙම තීරණ සහ ඉදිරි පියවරයන් සමාලෝචනය කරනු ලැබීය.
රථවාහන දඩ ඩිජිටල් ක්රමයට
මීට පෙර රට පුරා අදියර කිහිපයකින් සාර්ථකව දියත් කෙරුණු 'GovPay' අන්තර්ජාල ගෙවීම් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින් සැප්තැම්බර් මාසයේ සිට රථවාහන දඩ ගෙවීමේ සාම්ප්රදායික ක්රමවේද සම්පූර්ණයෙන්ම නවතා දමා ඩිජිටල් ක්රමයට පමණක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
මේ හරහා රථවාහන වැරදි සඳහා පනවන දඩ මුදල් පොලිස් ස්ථාන වෙත හෝ තැපැල් කාර්යාල වෙත ගොස් පෝලිම්වල සිටීමකින් තොරව, බැංකු ඇප් සහ ඔන්ලයින් ගෙවීම් ක්රමවේද ඔස්සේ ඉතා පහසුවෙන් සෘජුවම ගෙවා දැමීමට රියදුරන්ට අවස්ථාව හිමිවේ.
ජාතික ඩිජිටල් හැඳුනුම්පත
2030 වන විට ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීමේ රජයේ පුළුල් වැඩසටහනට සමගාමීව ජාතික ඩිජිටල් හැඳුනුම්පත් ව්යාපෘතියේ කටයුතුද වේගවත් කර ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන එක්ව සිදුකරන මෙම වැඩසටහන යටතේ මේ වසර අවසන් වීමට පෙර මෙරට පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට නියමිත බව අමාත්යාංශ නිලධාරීහු මෙහිදී තහවුරු කළහ.
ජෛවමිතික දත්ත පදනම් කරගනිමින් නිකුත් කෙරෙන මෙම ඩිජිටල් හැඳුනුම්පත මගින් පුරවැසියන්ට රාජ්ය හා පෞද්ගලික සේවාවන් රැසක් වඩාත් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව ලබාගැනීමට පහසුකම් සැලසෙනු ඇත.
සමස්ත ලංකා සේවයක් කිරීම
රජයේ සමස්ත ඩිජිටල්කරණ ක්රියාවලියට සක්රීය සහ බලගතු දායකත්වයක් ලබාදීම සඳහා දැනට පවතින තොරතුරු තාක්ෂණ සේවය 'සමස්ත ලංකා සේවයක්' ලෙස ස්ථාපිත කිරීමට අවධානය යොමුකරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්රී ලංකා පරිගණක හදිසි පතිචාර සංසදය, දත්ත ආරක්ෂණ අධිකාරිය ඇතුළු ආයතන රැසක වත්මන් ප්රගතියද මෙම රැස්වීමේදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් විය.
Comments
Moderated before publishing. Your email stays private.