Swipe left or right to navigate stories
සාම පා ගමන 21 වැනිදා ඇරඹේ

සාම පා ගමන 21 වැනිදා ඇරඹේ

සාමයේ පණිවිඩය ලොවට ගෙන යමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් සාම පා ගමන මෙම මස 21 වැනිදා සිට 28 වැනිදා දක්වා පුර්ණ රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ මෙරටදී පැවැත් වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ සාම්ප්‍රදායික ශිල්ප හා කලා විශේෂාංග ජනගත කිරීමටද අපේක්ෂිත මෙම සාම පා ගමන ‘ඒහිපස්සිකෝ‘ ලෙස නම් කර තිබේ.

පළමු වරට අමෙරිකාවේදී පැවති සාම පා ගමන සඳහා නායකත්වය දුන් අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මෙරට පැවැත්වෙන සාම පාද යාත්‍රාව සදහා වැඩම කිරීමට නියමිතව තිබිණි. එම ස්වාමීන් වහන්සේලා අතරින් කිහිප නමක් ඉකුත් 15 වැනිදා ඇමරිකාවෙන් පිටත්වූ අතර අද දින (17) තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට මෙරටට වැඩම කර සිටිති.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව 21 වැනිදා අනුරාධපුර නගරයෙන් ආරම්භ කෙරෙන මෙම සාම පා ගමන අප්‍රේල් 28 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත ළඟා වී‍මෙන් නිමාවට පත්වේ. ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් ලබාගන්නා බෝධි අංකුරයක්ද මෙම සාම පා ගමනේ වැඩම කරවීමට නියමිතය. මෙමගින් මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණ සමාජගත කිරීම සහ අන්තර් ආගමික සංහිඳියාව වර්ධනය කිරීම අරමුණු කෙරේ.

පා ගමනේ දෙවැනි දිනය වන 22 වැනිදා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන දින 7 ක් තුළ නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය යන නරග පසුකරමින් 28 වැනිදා වන විට නිදහස් චතුරශ්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.

අවසන් දිනයේදී සාම පා ගමනේ නිමාව සනිටුහන් කරමින් නිදහස් චතුරශ්‍රය වෙත වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු පුළුල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් මෙම වැඩසටහන සඳහා සහාය දක්වයි.

එක්සත් ජනපදයේ දේශපාලන බෙදීම් උග්‍ර වෙමින් පැවැති අවස්ථාවක ලොව පුරා ථේරවාදී බෞද්ධ විහාරස්ථානවලින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා 19 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම සාම පා ගමන පළමු වරට පැවැති අතර එය මිලියන සංඛ්‍යාත ඇමෙරිකානුවන්ගේ අවධානය දිනා ගනිමින්, සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර ගිය එකක් බවට පත්විය.

2025 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා ෆෝර්ට් වර්ත්හි ‘හුඕන්ග් ඩාඕ‘ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ එම සාම පා ගමන ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් ඩීසී ප්‍රාන්තය දක්වා සැතපුම් 2,000 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව මෙම වසරේ පෙබරවාරි මස 10 වැනිදා නිමාවට පත් විය. පා ගම නිමා වීමෙන් අනතුරුව එම භික්ෂූන් වහන්සේලා වොෂින්ටන් ජාතික ආසන දෙව්මැදුරටද වැඩම කළ අතර එහිදී උන්වහන්සේලා අන්තර් ආගමික දේව මෙහෙයකටද සහභාගී වූහ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem