ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් 2026 ජූලි මාසයේදී සිදු කරන ලද නවතම ශ්රේණිගත කිරීමට අනුව ශ්රී ලංකාවේ ණය ශ්රේණිගත කිරීම පෙර තිබූ මට්ටමේම ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකි වී ඇති බව කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය වැනි බාහිර හා අභ්යන්තර කම්පන හමුවේ වුවද, ආර්ථික ප්රතිපත්ති වෙනස් නොකර ඉදිරියට ගෙන යාම නිසා මෙම ජයග්රහණය අත්පත් කරගැනීමට හැකි වූ බව නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දෙයි.
ණය පාරදෘශ්යභාවය ඉහළට
ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට වැදගත් වන හුවමාරු සහ පරිවර්තන ශ්රේණිගත කිරීම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවත්, 2022 වසරේ පැවැති 'CCC' මට්ටමේ සිට 2026 වන විට එය 'B-' මට්ටම දක්වා වර්ධනය වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම ණය පාරදෘශ්යභාවය සහ ආයෝජකයන් සමග පවතින සබඳතා වර්ධනය කරගැනීම වෙනුවෙන් ශ්රී ලංකාව ලබාගෙන ඇති ප්රගතිය ජාත්යන්තරයේ ඇගයීමට ලක්ව තිබේ.
ඒ අනුව අදාළ ඇගයීම් ලකුණු 50න් ලකුණු 43.67ක් ලබාගනිමින්, 2026 වසරේදී ඇගයීමට ලක්වූ රටවල් අතරින් 4 වැනි ස්ථානයට පත්වීමටද ශ්රී ලංකාව සමත්ව ඇත.
ඉදිරි අභියෝග
විදේශ සංචිත ඉහළ නංවාගෙන ඇත්තේ ආනයන සීමා කිරීමෙන් හෝ ආර්ථිකය හකුළුවා දැමීමෙන් නොව මහ බැංකුවේ උපායමාර්ගික මැදිහත්වීමෙන් බව පැහැදිලි කළ නියෝජ්ය අමාත්යවරයා, 2026 වසරේ පළමු කාර්තුවේදී 5.1%ක ආර්ථික වර්ධනයක් වාර්තා වූ බවද පැවසීය.
එමෙන්ම 2026 ජූලි මාසය වන විට වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කවලින් 63.5%ක් සපුරා ගැනීමට රජයට හැකිව තිබේ.
කෙසේ වෙතත් අතීතයේ ලබාගත් අනවශ්ය ණය සඳහා විශාල පොලී ප්රමාණයක් ගෙවීමට සිදුවීම, ඉන්ධන මත පවතින අධික යැපීම සහ ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් නොමැතිකම වැනි ව්යුහාත්මක අභියෝග රැසකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
Comments
Moderated before publishing. Your email stays private.