සමාජ මාධ්ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් සැළකිළිමත් වන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් දෙමාපියන් ඇතුළු භාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
Facebook ඇතුළු සමාජ මාධ්ය හරහා මුදල් ඉපයීමේ මූල්ය ප්රතිපත්තිය ක්රියාත්මක වීමත් සමඟ, දෙමාපියන්ගේ අවසරය ඇතිව හෝ නැතිව දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට එක් කිරීමේ ප්රවණතාව ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
වාණිජ අරමුණු සහ පෞද්ගලික ආරක්ෂාව
දරුවන්ගේ දක්ෂතා ප්රදර්ශනය කිරීම සහ ඔවුන්ගේ සුරතල් ක්රියාකාරකම් අගය කිරීම යන මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බව තහවුරු වී ඇතැයි අමාත්යාංශය පෙන්වා දෙයි.
මෙලෙස වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්වයන් වෙත අනාවරණය වීමෙන් ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වන බවද අමාත්යාංශය අවධාරණය කරයි.
AI තාක්ෂණයේ තර්ජනය
එමෙන්ම අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්ර කරගනිමින්, කෘතිම බුද්ධිය ඔස්සේ අසභ්ය දර්ශන නිර්මාණය කිරීමේ දැඩි අවදානමක්ද මතුව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එබැවින් මෙවැනි අනතුරුදායක තත්ත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන ලෙස අමාත්යාංශය දෙමව්පියන් ඇතුළු දරුවන්ගේ භාරය සහ ආරක්ෂාව දරන්නන් වෙත වැඩිදුරටත් දැනුම් දෙයි.
Comments
Moderated before publishing. Your email stays private.