සයිබර් සොරකමට හේතුව විද්යුත් තැපෑල හැක් කිරීමයි
මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්රේලියාවේ අපනයන මූල්ය සමාගමකට ගෙවිය යුතු ණය මුදලක් සම්බන්ධයෙන් සිදුකරන ලද තොරතුරු හුවමාරුවකදී එයට මැදිහත් වූ හැකර්වරුන් පිරිසක් අදාල ණය මුදල (ඇ.ඩො. මිලියන 2.5 ක්) සොරකම්කර ඇතැයි මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය අනිල් ජයන්ත මහතා පවසයි.
ඕස්ට්රේලියානු අපනයන සමාගමත්, මහා භාණ්ඩාගාරයත් අතර මුදල් පියවීමේ කටයුතු සිදුකිරීමේදී තොරතුරු හුවමාරු කරගැනීම අන්තර් ජාලය ඔස්සේ විද්යුත් තැපෑල මගින් සිදු කෙරෙන බවත්, එම විද්යුත් තැපැල් යාන්ත්රණය හැකර්වරුන් විසින් හැක්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.
මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපෙස් පරිදි මේ සම්බන්ධයෙන් අඛණ්ඩව පරික්ෂණ සිදුකරන බව සඳහන් කළ නියෝජ්ය අමාත්යවරයා, හැකර්වරුන් සොරකම් කරන ලද මුදල් නැවත ලබාගන්නා තෙක් පදනම් විරහිත තොරතුරු විශ්වාස නොකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අංක ලක්ෂයක් ඉදිරියට ඇති වාහන අංක සඳහා ලක්ෂ 10 ක මිලක්
මෝටර් වාහන සඳහා දැනට නිකුත් කරන අංක වලින් අංක 100,000 ක් ඉදිරියට විශේෂ අංකයක් මුදල් ගෙවා ලබාගැනීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අදාළව අංක 2470/14 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ 2026 ජනවාරි 5 දින පළ කරන ලද මෝටර් වාහන පනත යටත්වය.
මෝටර් වාහන සඳහා නිකුත් කරන අංක වලින් අංක 100,000 ක් ඉදිරියට විශේෂ අංකයක් වෙන් කිරීමේදී එක් අංකයක් සඳහා රු. 1,000,000 ක ගාස්තුවක් අය කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට මේ අනුව අවසරය හිමි වේ.
මෙසේ විශේෂ අංක තහඩු නිකුත් කිරීම මගින් 2023, 2024 සහ 2025 වර්ෂවල රු. 319,000,000 ක පමණ ආදායමක් උත්පාදනය කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ලැබි ඇත. මෝටර් සයිකල්, මෝටර් ට්රයිසිකල් සහ මෝටර් ට්රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහන සඳහා මේ අනුව මුදල් ගෙවා විශේෂ අංක ලබා ගැනීමට අවසර හිමි වනු ඇත.
බලශක්ති අමාත්යංශය අනුර කරුණාතිලක යටතට
හිටපු අමාත්ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව, නව බලශක්ති අමාත්යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කර තිබේ.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්යවරයා ද වන කරුණාතිලක මහතා, ඊයේ (20) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ගල් අඟුරු ආනයනය කිරීමේදී සිදුවූ අක්රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මගින් සිදුකරන විමර්ශනයක විනිවිද භාවය සහතික කිරීම උදෙසා ජයකොඩි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඇපල් සමාගමේ ප්රධාන විධායක නිලධාරියා වෙනස් වෙයි
ඇපල් සමාගම ඩොලර් ට්රිලියන 4 ක වටිනාකමකින් යුත් සමාගමක් බවට පත් කිරීමට නායකත්වය දුන් ටිම් කුක් ඒහි ප්රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඒ අනුව සැප්තැම්බර් 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි එම සමාගමේ දෘඩාංග ඉංජිනේරු අංශයේ ජ්යෙෂ්ඨ උප සභාපති ජෝන් ටර්නස් නව ප්රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගනු ඇත.
ප්රධාන විධායක නිලධාරි තනතුරින් ඉවත් වීමෙන් පසු ටිම් කුක් ඇපල් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ විධායක සභාපතිවරයා බවට පත්වීමට නියමිත බව සඳහන්වේ.
ශ්රී ලංකා ඔලිම්පික් කමිටු නිලවරණය 25 වැනිදා
මෙරට සියලුම ඔලිම්පික් ක්රීඩා පාලනය කරන ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීමේ නිලවරණය අප්රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
වත්මන් සභාපති සුරේෂ් සුබ්රමනියම් මහතා සිය ධුර කාලයන් දෙක සම්පූර්ණ කිරීමත් සමඟ, වසර අටකට පසු ජාතික ඔලිම්පික් කමිටුවේ නායකත්වයේ වෙනසක් මෙම නිලවරණයේදී දැකගත හැකි වනු ඇත.
ක්රීඩා සම්මේලන සහ සංගම් 25 ක් නියෝජනය කරමින් නිලධාරීන් 34 දෙනෙකු 12 දෙනෙකුගෙන් යුත් විධායක කමිටුවට පත්වීම සඳහා නාම යෝජනා භාර දී තිබේ.
දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයෙන් වසරක තහනමක්
ශ්රී ලංකා විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්රීඩා කිරීම වසරක කාලයක් සඳහා තහනම් කර තිබේ.
මෙම වසරේ පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ආරම්භ වීමට සතියකටත් අඩු කාලයක් තිබියදී ශානක තරගාවලියෙන් ඉවත් වීමෙන් පසු, ලීගය සංවිධානය කරන පාකිස්තාන ක්රිකට් මණ්ඩලය විසින් සිදු කරන ලද සමාලෝචනයකින් අනතුරුව ඔහුට මෙම සම්බාධකය පනවා ඇත.
ඉන්පසුව ශානක මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්රිමියර් ලීග් තරගවලිය සඳහා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගත විය.
Comments
Moderated before publishing. Your email stays private.