Swipe left or right to navigate stories
සති අන්තයේ පුවත් සාරාංශය - අප්‍රේල් 27

සති අන්තයේ පුවත් සාරාංශය - අප්‍රේල් 27

0:00

ඉන්ටර්පෝල් සමුළුවට සහභාගී වීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට

ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ගෝලීය මහජන සන්නිවේදන සමුළුවට සහභාගී වීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්‍රික් වූට්ලර් මහතා ඉරිදා (26) උදෑසන ප්‍රංශයේ ලියොන් නුවර බලා පිටත්ව ගියේය.

මෑතකදී ශ්‍රී ලංකාවේ ඇති වූ ආපදා තත්ත්වයන්හිදී ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජන ආරක්ෂාව සහ සුබසාධනය කළමනාකරණය කළ ආකාරය පිළිබඳව ඔහු එහිදී විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට නියමිතය.

මෙම සමුළුව 28 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජාත්‍යන්තර පොලිස් සන්නිවේදන සමුළුවේදී ඉදිරිපත් කිරීමක් සඳහා ආරාධනා ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බවට වූට්ලර් මහතා පත්විය.



ධවල මන්දිර වාර්තාකරුවන්ගේ භෝජන සංග්‍රහයක වෙඩි තැබීමක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් සහභාගි වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬකින් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වොෂින්ටන් නුවර ‘වොෂින්ටන් හිල්ටන්‘ හෝටලයේ ඉරිදා (26) පැවැත්වෙමින් තිබූ වාර්තාකරුවන්ගේ වාර්ෂික භෝජන සංග්‍රහය අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවය.

දැඩි ලෙස සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් විසින් ජනාධිපති ට්‍රම්ප්ව ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන යෑමට පියවර ගනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධව එක් වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



දෙවැනි බොරතෙල් නැව ඉරිදා දිවයිනට

මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු පැමිණෙන දෙවැනි බොරතෙල් නෞකාව ඉරිදා (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිතව තිබුණි.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක ප්‍රමාණයක් මෙරටට රැගෙන එන බවය.

ඒ අනුව මෙම මාසය සදහා අවශ්‍ය බොරතෙල් ප්‍රමාණය මෙම නෞකාව පැමිණීමත් සමග සමග සම්පූර්ණ කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



ජාතික ඔලිම්පික් කමිටු මුල් පුටුව අසංග සෙනෙවිරත්නට

ඉදිරි වසර 4 ක කාල වකවානුව සඳහා ජාතික ඔලිම්පික කමිටුවේ සභාපති ධුරයට තේරී පත්වීමට අසංග සෙනවිරත්න සමත් විය. සෙනසුරාදා (25) ඔලිම්පික් නිවහනේදී පැවැති නිලවරණයේදී වැඩි ඡන්ද 5 කින් ඔහු සභාපති ධූරයට පත් විය.

සභාපති ධුරය සඳහා අපේක්ෂකයින් 5 දෙනෙක් නාමයෝජනා දී තිබූ නමුත් අවසන් මොහොතේ ශ්‍රී ලංකා හිම ක්‍රීඩා සංගමයේ සභාපති දේවා හෙන්රි හා ශ්‍රී ලංකා ඔරු පැදීමේ සම්මේලනයේ විධායක සභික ප්‍රීති විරාජ් පෙරේරා නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීමත් සමග එය තුන් කොන් සටනක් බවට පත් විය.

නිලවරණයේදී ශ්‍රී ලංකා බේස් බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න ඡන්ද 16 ක්ද, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ඡන්ද 11 ක්ද, ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සම්මේලනයේ උප සභාපති ශිරන්ත පීරිස් ඡන්ද 2 ක්ද බැගින් හිමිකර ගත්හ.



ආරක්‍ෂක ලේකම් නිව්යෝර්ක් නුවරදී හයිටි අගමැති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සංචාරයක නිරත ව සිටින ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා, ඊට සමගාමීව හයිටි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇලික්ස් ඩයිඩර් සහ විදේශ කටයුතු අමාත්‍ය රයිනා ෆෝබින් යන මහත්ම මහත්මීන් සමඟ සෙනසුරාදා (25) සාකච්ඡාවකට එක් විය.

එහිදී ශ්‍රී ලංකාව සහ හයිටි රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙපාර්ශවයේම අවධානය යොමු වූ අතර, ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සහ දෙරටටම වැදගත් වන පොදු කරුණු සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

කලාපීය සහ ගෝලීය ආරක්‍ෂක ගතිකයන් පිළිබඳවද දෙපාර්ශවයම අදහස් හුවමාරු කරගත් අතර, රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්‍ෂක නාලිකා ඔස්සේ දෙරට අතර වඩාත් සමීප සම්බන්ධතාවක් සහ සහයෝගීතාවක් පවත්වා ගැනීම වෙනුවෙන් එහිදි වැඩි අවධානයක් යොමු කෙරණි.



නවසීලන්ත කි.ග්‍රෑ. 85 ට අඩු ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා රග්බි පිල පරදවති

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට එරෙහිව කොළඹ තුරඟ තරග පිටියේදී ‍සෙනසුරාදා (25) පැවැති පළමු තරගය ලකුණු 27-16 ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම සමත් විය.

පළමු අර්ධයේදී ලකුණු 16-13 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූ නවසීලන්ත කි.ග්‍රෑ. 85 ට අඩු ක්‍රීඩකයන්, දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 11 ක් රැස්කළ අතර ශ්‍රී ලංකාවට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි.

මෙම තරගයේදී නවසීලන්තයේ කිලෝ ග්‍රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායම උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහර 4 ක් මගින් ලකුණු ලබාගත් අතර ශ්‍රී ලංකාව ලකුණු රැස්කළේ ‍උත්සාහක දිනුම් 2 ක් සහ ද‍ඬුවම් පහර 2 ක් සමගිනි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem