ආපදා තත්වයෙන් බලපෑමට ලක්වූ සංඛ්යාව 27,000 ඉක්මවයි
පවතින අයහපත් කාලගුණය හමුවේ දිවයින පුරා පුද්ගලයින් 27,000 කට අධික සංඛ්යාවක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
එම මධ්යස්ථානය සෙනසුරාදා (23) පස්වරුවේ නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට පවුල් 6,907 කට අයත් පුද්ගලයින් 27,419 ක් බලපෑමට ලක්ව ඇති බවය.
ආපදාවෙන් දිස්ත්රික්ක 6 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 34 ක් බලපෑමට ලක්ව ඇති අතර එක් පුද්ගල මරණයක්ද වාර්තා වී තිබේ. මේ අතර නිවාස 2 කට පූර්ණ වශයෙන් හානි වී ඇති අතර තවත් නිවාස 807 ක් අර්ධ හානියකට ලක්ව ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
ශ්රී ලංකා රුපියල දිනකදී 2.7% කින් ඉහළ යයි
දින කිහිපයක් පුරා පහත වැටෙමින් තිබූ ශ්රී ලංකා රුපියලේ අගය සිකුරාදා (22) දිනයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7% කින් ඉහළ ගොස් තිබේ.
මෙය 2023 මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ ඉහළම එක්දින වර්ධනය බවද, එය එදින ආසියාවේ හොඳම ක්රියාකාරීත්වය පෙන්වූ මුදල් ඒකකය බවද වාර්තා වේ.
ජාත්යන්තර මූල්ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්රී ලංකාවට මුදල් ලැබීමට නියමිතව ඇති අතර මේ නිසා වෙළඳපොළේ සිටින පිරිස් තමන් සතු ඩොලර් විකිණීමට පෙළඹීම රුපියල ශක්තිමත් වීමට හේතුවක් ලෙස රජය පවසයි.
ජාතික පිච්ච මල් පූජාව ජුනි 25-26 අනුරාධපුරදී
අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේ අභියස පැවැත්වෙන 2026 ජාතික පිච්ච මල් පූජෝත්සවය පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී සිකුරාදා (22) පෙරවරුවේ පැවැත්විණි.
36 වැනි වරට සංවිධානය කරනු ලබන මෙම ජාතික පිච්ච මල් පූජාව ජුනි මස 25 සහ 26 යන දෙදින තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ මැදිහත්වීම යටතේ සියලු රාජ්ය සහ පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් පැවැත්වීමට කටයුතූ සූදානම් කර ඇත.
ජාතික පිච්ච මල් පූජාව සඳහා අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ට අවශ්ය පහසුකම් සැපයීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදු කළ සැකකරුවෙකුට එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. සෙනසුරාදා (23) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බව විදෙස් මධ්ය වාර්තා සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ.
ධවල මන්දිරයේ ප්රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අනතුරුව වහාම ක්රියාත්මක වූ රහස් ඔත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් එම ප්රදේශය වටලා තිබේ.
සිද්ධියත් සමඟ ධවල මන්දිරය අවට මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුණු අතර පරිශ්රයේ ආරක්ෂාව උපරිම මට්ටමකින් තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
ශ්රී ලංකා ක්රිකට් සඳහා නව තේරීම් කමිටුවක්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව නව තේරීම් කමිටුව සඳහා නම් කරන ලද සාමාජිකයන් සඳහා තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේගේ අනුමැතිය හිමිව තිබේ.
1973 අංක 25 දරන ක්රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මඟින් පැවරී ඇති බලතල ප්රකාරව මෙම නව තේරීම් කමිටු සාමාජිකයන් පත් කර ඇති බව සඳහන් වේ.
හිටපු ක්රිකට් ක්රීඩක කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් යුත් නව තේරීම් කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස අමල් සිල්වා, බ්රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා කටයුතු කරති.
Comments
Moderated before publishing. Your email stays private.