ආනයනය කරන වාහනවලින් 50% ක අධිභාරයක්
විදෙස් රටවලින් ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත 50% ක අධිභාරයක් අය කිරීමට තීරණය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉකුත් සිකුරාදා (16) වැනිදා සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50% ක අධිභාරය අය කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම මස 15 වැනිදාට හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව 50% ක අධිභාරය බල නොපාන බවද එහි දැක්වේ.
මහජන බැංකුවත් වැරදීමකින් මිලියන 656 ක් ගෙවලා
විදේශ මුදල් හුවමාරු ප්රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව නිල මාධ්ය ප්රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.
ඉකුත් 16 වැනිදා නිකුත් කර ඇති එම ප්රකාශනයට අනුව මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළය.
එම කාලසීමාවේදී එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදු වූ දෝෂයක් නිසා ඇතැම් ගනුදෙනුකරුවන්ට ලැබිය යුතු ප්රමාණයට වඩා වැඩි මුදලක් ලැබී ඇති බව බැංකුව මෑතකදී හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වුවත් මේ වන විට එම දෝෂය සම්පූර්ණයෙන්ම නිවැරදි කිරීමට බැංකුව කටයුතු කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
හනීෆ් යූසුෆ් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි
තමා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී ඇතැයි එම ධූරයේ කටයුතු කළ හනීෆ් මොහොමඩ් මහතා ඉකුත් සෙනසුරාදා (17) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ ආණ්ඩුකාරවරයා ලෙස තම වගකීම්, විදේශ සෘජු ආයෝජන පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස තම භූමිකාව සහ තම පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී එල්ල වන, දිනෙන් දින වැඩිවන අභියෝග සැලකිල්ලට ගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් යූසුෆ් මහතා පැහැදිලි කර සිටියේ පරිපාලන කටයුතු සුමට හා විධිමත් සංක්රාන්ති කාලසීමාවක් සහතික කිරීම සඳහා සුදුසු අනුප්රාප්තිකයෙකු පත් කරන තෙක් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස තමා කටයුතු කරන බවයි.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිල නියෝජිතයන් ජනපති හමුවෙයි
දිවයිනට පැමිණ සිටින ජාත්යන්තර ක්රිකට් කවුන්සිල නියෝජිතයෝ සෙනසුරාදා (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූහ. ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවජිත් සයිකියා යන මහත්වරු ඒ් අතර වූහ.
ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පාලන කටයුතු සඳහා එරාන් වික්රමරත්නගේ සභාපතිත්වයෙන් සමාජිකයින් 9 දෙනෙකුගෙන් යුත් පරිවර්ථන කමිටුවක් පසුගියදා පත් කරන ලදි.
ඒ හිටපු සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව සිය ධුර වලින් ඉල්ලා අස්වීමෙන් අනතුරවය. දිවයිනට පැමිණි ජාත්යන්තර ක්රිකට් කවුන්සිල නියෝජිතයන් ශ්රී ලංකා ක්රිකට් පරිවර්ථන කමිටුව සමග ඉදිරි කටයුතු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.
මධ්යම සහ දකුණු ආසියානු රග්බි ශූරතා ද්විත්වයම ශ්රී ලංකාවට
උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර පැවති 2026 මධ්යම සහ දකුණු ආසියානු සත් සාමජික රග්බි තරගාවලියේදී කැපී පෙනුණ දස්කම් දක්වමින් පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම් ඊයේ (18) සමත් විය.
පිරිමි අවසන් මහ තරගයේදී ලකුණු 31-10 ක් ලෙස ඉන්දියාව පරාජය කිරීමට ශ්රී ලංකා ක්රීඩකයන් සමත් වූ අතර කාන්තා අවසන් මහ තරගයේදී ලකුණු 27-00 ක් ලෙස කසකස්තානය පරාජය කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ.
මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව, උස්බෙකිස්ථානය, ඉන්දියාව, පාකිස්තානය, කිරිගිස්තානය, මොංගෝලියාව සහ කසකස්තානය යන රටවල් සහභාගි වූ අතර ශ්රී ලංකාවේ රමිත හිමාෂ තරගාවලියේ දක්ෂතම ක්රිඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
Comments
Moderated before publishing. Your email stays private.