අප්රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 767.9 ක විදේශ ප්රේෂණ
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව මෙම වසරේ අප්රේල් මාසයේදී ශ්රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 767.9 ක විදේශ ප්රේෂණ (විදෙස් මුදල්) ලැබී ඇත.
මෙම අගය මෙම වසරේ මාර්තු මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 814.8 ට සාපේක්ෂව යම් පහත වැටීමක් පෙන්නුම් කළද, ඉකුත් වසරේ (2025) අප්රේල් මාසයේ ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 646.1 ට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.
මේ අතර අප්රේල් මස අවසන් වන විට ශ්රී ලංකාවේ දළ නිල සංචිත ප්රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.759 ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති බව මහ බැංකුව ප්රකාශ කළේය. මෙම සංචිතවලට චීන මහජන බැංකුව සමග ඇති කරගත් මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්රතිලාභද ඇතුළත් වේ.
හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
එයාර්බස් ගනුදෙනුව පිළිබඳ විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබා දීම සඳහා හෙට (12) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දීමක් කර තිබේ.
එලෙස කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය සෙනසුරාදා (9) රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවස වෙත භාර දී ඇතැයි වාර්තා විය.
හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට පසුගිය සතියේ මාධ්ය වාර්තා පළ වුවද, එම අවස්ථාව වන විට නිල වශයෙන් ලිපියක් භාර දී නොතිබූ බව අනාවරණය විය.
විජේ තමිල්නාඩු මහඇමති ධුරයේ දිවුරුම් දෙයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්රි කළගම් පක්ෂයේ නායක ජනප්රිය නළු ජෝසප් විජේ ඊයේ (10) චෙන්නායි නුවර ජවහල්ලාල් නේරු ක්රීඩාංගණයේදී ආණ්ඩුකාරවරයා ඉදිරියේදී ප්රාන්ත මහඇමති ධුරයේ දිවුරුම් දුන්නේය.
අවසන් ප්රතිඵල අනුව තමිල්නාඩු ප්රාන්ත මැතිවරණය ජය ගැනීමට ජෝෂප් විජේ සමත් වුවත්, ඉන්දීය ප්රාන්ත බලය තහවුරු කරගැනීමට අවශ්ය වූ ආසන සංඛ්යාව සපුරා ගැනීමට ඔහුට නොහැකි විය.
ඒ අනුව ඉන්දීය ජාතික කොංග්රසය, වී.සී.කේ. පක්ෂය, ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය විජේගේ පක්ෂය සමග එක්වීම හේතුවෙන් ඔහුට අවශ්ය වූ ආසන සංඛ්යාව සම්පූර්ණ කරගැනීමට හැකි විය.
යුද්ධය අවසන් කිරීමේ යෝජනාවට ඉරානයෙන් ප්රතිචාර
පසුගිය පෙබරවාරි මස අග භාගයේදී ආරම්භ වූ කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ නවතම කෙටුම්පතට ඉරානය සිය ප්රතිචාරය ලබාදී ඇති බව එරට රාජ්ය මාධ්ය වාර්තා කළේය.
පකිස්තාන මැදිහත්කරුවෙකු හරහා මෙම ප්රතිචාරය ඊයේ (10) දිනයේදී අමෙරිකාව වෙත භාර දුන් බව ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන අයි.ආර්.එන්.ඒ. වාර්තා කළේය.
"යෝජිත රාමුවට අනුව, මෙම අදියරේ සාකච්ඡා කලාපයේ පවතින යුද්ධය අවසන් කිරීමේ කරුණ කෙරෙහි අවධානය යොමු කරනු ඇත," යනුවෙන් සඳහන් වුවද, ඉරාන ප්රතිචාරයේ අඩංගු සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් පුවත් පවසයි.
කුසල් මෙන්ඩිස් සීමිතර ඕවර කණ්ඩායමේ නායකත්වයට
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිට එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය සූදානම් වන බව ‘ද සන්ඩේ ටයිම්ස්‘ පුවත්පත වාර්තා කළේය.
එම වාර්තාවට අනුව කාර්යබහුල ජාත්යන්තර තරග කාලසටහනකට පෙර ශ්රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම්වල ස්ථාවරත්වය සහ ඉදිරි ගමන තහවුරු කිරීමේ අරමුණින්, 31 හැවිරිදි මෙම කඩුලු රකින පිතිකරුවා එක්දින නායකත්වයේදී චරිත් අසලංක වෙනුවටත්, විස්සයි-20 නායකත්වයේදී දසුන් ශානක වෙනුවටත් පත් කිරීමට නියමිතය.
මේ අතර ධනංජය ද සිල්වා තවදුරටත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Comments
Moderated before publishing. Your email stays private.