මෙරට ඩෙංගු රෝගීන් සංඛ්යාව 46,000 පසුකරයි
ජනවාරි මාසයේ සිට ඉරිදා (21) දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂක වෛද්ය කපිල කන්නංගර මහතා පැවසීය.
මේ වන විට දෛනිකව ඩෙංගු රොගීන් 600 ත් 650 ත් අතර සංඛ්යාවක් වාර්තා වන බවද එහිදී වැඩබලන අධ්යක්ෂකවරයා සඳහන් කළේය.
ජූනි මාසයේ පළමු වැනිදා සිට ඉකුත් ඉරිදා දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 12,196 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් කළ වෛද්ය කපිල කන්නංගර මහතා එය මාසයක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාව බවද පැවසීය.
පළාත් අනුව සසදා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇති බවද වැඩබලන අධ්යක්ෂකවරයා සඳහන් කළ අතර එම සංඛ්යාව සියයට 51.75 ක් විය.
ආසන පටි නොමැති වාහනවලට මාස තුනක සහන කාලයක්
ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවි කරගැනීමට මාස තුනක සහන කාලයක් ලබා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පැවැසීය.
අධිවේගී මාර්ගවල ගමන් කරන වාහන සඳහා ආසන පටි නීතිය සෙනසුරාදා (20) සිට තදින්ම ක්රියාත්මක කර ඇති බව එහි සභාපති මංජුල කුලරත්න මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත් නිෂ්පාදකයා විසින් ආසන පටි ලබාදී නොමැති නම් ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය තවදුරටත් ක්රියාත්මක බවද සභාපතිවරයා ප්රකාශ කළේය.
ඒ අනුව ඉදිරි මාස තුනක කාලයක් ඇතුළත ආසන පටි සවි කරගත යුතු බවත් එම කාලය සෙනසුරාදා (20) සිට ක්රියාත්මක වන බව එම අධිකාරිය සඳහන් කරයි.
අපේක්ෂා රෝහලට ලැබෙන තැඹිලි දාන සීමා කරයි
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් සඳහා පිරිනැමෙන තැඹිලි දාන අවලංගු කිරීමට එම රෝහලේ කලමණාකාරීත්වය තීරණය කර තිබේ.
මේ සඳහා සියලුම විශේෂඥ වෛද්යවරුන්ගේ එකඟතාව ලැබී ඇති බවද අපේක්ෂා රෝහල ඉරිදා (21) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
තැඹිලි දාන සිදු කරන පුද්ගලයන් කිසිදු ආරක්ෂිත ක්රමවේදයක් අනුගමනය නොකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවද එම නිවේදනයේ සඳහන් විය.
එමෙන්ම ඔවුන් රෝගීන්ව වීඩියෝගතකර සමාජ මාධ්ය ඔස්සේ මුදාහැරීම මගින් රෝගීන්ගේ පෞද්ගලිකත්වයට බලපෑමක් සිදුවන බවද නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ඉරානය යළි හෝමූස් සමුද්ර සන්ධිය වසා දමයි
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමත් සමඟ පූර්ණ වශයෙන් විවෘත කෙරුණු හෝමූස් සමුද්ර සන්ධිය යළි වසාදැමීමට ඉරානය පියවර ගෙන තිබේ.
ඉරාන හමුදා උපුටා දක්වමින් සෙනසුරාදා (20) විදෙස් මාධ්ය වාර්තා මේ බව සඳහන් කළේය.
ඊශ්රායලය විසින් දකුණු දිග ලෙබනනයට එල්ල කරනු ලැබූ ප්රහාරවලින් පුද්ගලයන් තිස් දෙදෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් තිබීම මුල් කරගනිමින් ඉරානය මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ප්රහාරවලින් අනතුරුව ඊශ්රායල අග්රාමාත්ය නෙතන්යාහු පවසා තිබුණේ රටේ ආරක්ෂාව පදනම් කරගනිමින් ප්රහාර එල්ල කිරීමේ අයිතිය තම රට සතු බවය.
මීටර් 100x4 සහාය දිවීමේන් නව ශ්රී ලංකා වාර්තාවක්
චීනයේ ෂැන්ගු නුවර පැවැති ආසියානු සහාය දිවීමේ ශූරතාවලියේ පිරිමි මීටර් 100x4 සහාය දිවීම ඉසව්වේදී නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම ඉරිදා (21) සමත් විය.
තරගයේ සිව්වැනි ස්ථානය දිනාගනිමින් දෙනෙත් වීරරත්න, චමෝද් යෝදසිංහ, චලිත් පියුමාල් හා මෙරොන් විජේසිංහ ක්රීඩකයන් මෙම දක්ෂතාව දැක්වූ අතර ඒ සඳහා ඔවුන් වැයකළ කාලය තත්පර 38.63 කි.
මෙම ඉසව්වේ පැරණි ශ්රී ලංකා වාර්තාව ලෙස සටහන්ව තිබුණේ මීට වසර 8 කට පෙර 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදීය.
ෂෙහාන් අඹේපිටිය, විනෝද් සිල්වා, හිමාෂ ඊෂාන් සහ මොහොමඩ් අෂ්රොෆ් යන ක්රීඩකයන් තත්පර 39.08ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.
Comments
Moderated before publishing. Your email stays private.