Swipe left or right to navigate stories
සති අන්තයේ පුවත් සාරංශ - ජූනි 15

සති අන්තයේ පුවත් සාරංශ - ජූනි 15

ඩෙංගු රෝගීන් 40,000 ඉක්මවයි – මරණ 23 ක්

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 40,443 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර සෙනසුරාදා (13) සඳහන් කළේ පසුගිය වසරේ (2025) මෙම කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 25,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබූ බවය. එසේම 2025 වසර තුළ ඩෙංගු මරණ 29 ක් වාර්තා වී ඇති බවද ඇය සඳහන් කළාය.

මෙම වසරේ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවද ඇය පැවසුවාය.

එම වාර්තා වලට අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවලිනි.



ජනපති සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති බයි යීන්ජෑන් මහතා ඇතුළු නියෝජිතයන් අතර හමුවක් සෙනසුරාදා (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ "සෘජු හා දැක්මක් සහිත නායකත්වය" හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන්ට දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බව චයිනා හාබර් සමාගමේ සභාපතිවරයා එහිදී පැවසීය.

විශේෂයෙන්ම වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබාදී ඇති දිරිගැන්වීම් පිළිබඳව සිය කෘතඥතාව පළ කළ සභාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්ව තිබීමද අගය කළේය.

රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන අත්‍යවශ්‍ය සාධකයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බවද සඳහන් කළේය.



අබුඩාබිහිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු බව කියන මෝදර නිපුන නමැත්තාගේ සහෝදරයෙක් හා බ්ලූමැන්ඩල් සංඛ නමැති අපරාධකරුවන් දෙදෙනා සෙනසුරාදා (13) රාත්‍රියේදී මෙරටට දිවයිනට රැගෙන විත් තිබේ.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර ඇත.

අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුර මොවුන් මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡයාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකතනවල රඳවා තබාගෙන සිට තිබේ.

අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා බන්ධනාගාර ගත කර සිට පසුව මෙරටට පිටුවහල් කළ බව සඳහන් වේ. මොවුන් දෙදෙනා ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.



2026 දී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 7 කින් අවප්‍රමාණය වෙයි

මෙම වසරේදී (2026) ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 7% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුවට අනුව පසුගිය සිකුරාදා (12) දින ගනුදෙනු අවසානයේදී අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 341.36 ක් ලෙසත් සටහන් විය.

2026 පෙබරවාරි අගභාගයේ සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දී ඇත.



ඇමරිකා - ඉරාන සාම ගිවිසුම අත්සන් කිරීම විද්‍යුත් ක්‍රමයට

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ඓතිහාසික සාම ගිවිසුම ඉරිදා (14) අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මෙම එකඟතාවයෙන් "පසු වහාම සාම ගිවිසුම සඳහා විද්‍යුත් ක්‍රමයට අත්සන් තැබීම" සිදු කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව ලබන සතියේදී තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

සාකච්ඡා වටයන් පැවැති සමස්ත කාලය පුරාම ඇමරිකාව සහ ඉරානය දැක්වූ කැපවීම වෙනුවෙන් මෙන්ම, මෙම සාම ක්‍රියාවලිය සඳහා සහයෝගය දුන් කලාපීය රටවල් වෙතද පකිස්ථාන අගමැතිවරයා සිය ස්තූතිය පිරිනමා ඇත.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem