Swipe left or right to navigate stories
සති අන්තයේ පුවත් සාරංශ - ජූනි 08

සති අන්තයේ පුවත් සාරංශ - ජූනි 08

උපවාසයක නිරත වූ සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (7) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කරමින් සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ඇත.



පෞද්ගලික බස් රථ ධාවනය 50% කින් අඩු වෙයි

අද (8) සිට බස් රථ ධාවනය සීමා කිරීමට තම සංගමය තීරණයක් ගත් බවත්, එය ප්‍රතිශතයක් ලෙස 50% ක් වනු ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

කොළඹදී ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වනවිටත් බස් රථ සියයට 25 ක් පමණ ස්වයංව ධාවනයෙන් ඉවත්වී ඇති බවය.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉල්ලා සිටි බස් ගාස්තු සංශෝධනයට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම‌ හේතුවෙන් මෙම තීරණය ගත් බව සභාපතිවරයා අවධාරණය කළේය.



ඩෙංගු රෝගීන් වාර්තා වීම 50% කින් ඉහළට

පසුගිය වසරට (2025) සාපේක්ෂව මෙම වසරේදී (2026) ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ඊයේ (7) පැවසුවේ පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම 50% ත්, 55%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවය.

එමෙන්ම පසුගිය ජුනි 5 වන දින වනවිට මෙම වසරේ ඩෙංගු රෝගීන් 36,168 ක් වාර්තා වී ඇති බවත්, ඉන් 50% ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.



පොහොර සහනාධාරය ඉහළ දැමීමට රජය තීරණය කරයි

වෙළඳපොළ මිල කෙතරම් ඉහළ ගියත් වී වගාවට අවශ්‍ය යූරියා 50KG පොහොර මිටියක් මෙම කන්නය පුරාම රුපියල් 10,200 කට ලබාදීමට රජය තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසීය.

ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් මෙම මිලට පොහොර ලබා දීමට කටයුතු කර ඇති බව පසුගියදා (6) ඔහු සඳහන් කළේය.

එසේම මෙම කන්නයේ සිට පොහොර සහනාධාරය ලෙස ලබාදෙන මුදල වැඩි කිරීමට තීරණය කර ඇති බවද, ඒ අනුව මෙතෙක් රුපියල් 25,000 ක්ව පැවති එම සහනාධාරය රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේය.



ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී නියමිත වේලාව තුළ ඕවර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10% ක දඩයක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

තරග තීරක රිචී රිචඩ්සන් පෙන්වාදී ඇත්තේ, නියමිත කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර දෙකක් අඩුවෙන් යවා තිබූ බවය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, මෙම වරද පිළිගෙන ඇති බැවින් මේ සඳහා වැඩිදුර විමර්ශනයක් අවශ්‍ය නොවන බවද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem