රටක් ගොඩනැගීමේදී හුදු භෞතික සංවර්ධනය පමණක් ප්රමාණවත් නොවන බවත්, එම සංවර්ධනය රටේ සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමග ඓන්ද්රීයව බැඳී පැවතිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.
රටේ සංස්කෘතිය සහ වටිනාකම් සමග අක්මුල් විදාහගත් සබඳතාවකින් තොරව රටක් දියුණු කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා, ලොව බොහෝ රටවල් දියුණුව අත්පත් කරගෙන ඇත්තේ සිය සංස්කෘතික පදනම මත පිහිටා බවද පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්රතිපාදන මත ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.
ප්රගතිය විමසුම
අමාත්යාංශය යටතේ පවතින බුද්ධශාසන හා ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් යන ප්රධාන අංශ 3 වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 9535.45ක පුනරාවර්තන වියදම් සහ රුපියල් මිලියන 5401.40ක ප්රාග්ධන වියදම් යටතේ ක්රියාත්මක ව්යාපෘතිවල ප්රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.
ග්රාමීය ආගමික ස්ථානවල දානශාලා ඉදිකිරීම, ජල පහසුකම් වැඩිදියුණු කිරීම, සියලුම ආගම්වල දහම් පාසල් සංවර්ධනය සහ ආපදා/විපතින් විනාශ වූ ආගමික ස්ථාන නැවත ගොඩනැංවීම වෙනුවෙන් රුපියල් මිලියන 601ක ප්රතිපාදන වෙන්කර තිබේ.
ඉන්දියානු ආධාර යටතේ ආගමික ස්ථානවල සූර්යබල විදුලි පහසුකම් සැපයීමේදී මතුව ඇති ඉඩම් ගැටලුවලට වහා විසඳුම් ලබා දී ව්යාපෘතිය සාර්ථකව නිම කිරීමට උපදෙස් දෙයි.
ලේඛනාගාර ඩිජිටල්කරණය
අපේ උරුමයන් සහ ඉතිහාසය නූතන පරපුරට සමීප කිරීම සඳහා ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමේ ව්යාපෘති කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
හුදු ගොඩනැගිල්ලක් තුළට සීමා නොවී, නූතන තාක්ෂණය භාවිත කරමින් ඉතිහාසය සජීවීව අත්විඳිය හැකි පරිදි කෞතුකාගාර ප්රවර්ධනය කිරීමේ වැදගත්කමද එහිදී ඔහු පෙන්වා දුන්නේය.
ව්යාපෘති නැවත ඇරඹීම
පසුගිය රජයන් යටතේ අක්රමවත් ලෙස අතහැර දමා තිබූ ජාතික කලාභවන නවීකරණය, ජෝන් ද සිල්වා සමරු රඟහල සහ අමරදේව අසපුව වැනි ව්යාපෘතිවල ගැටලු නිරාකරණය කරමින් ඒවා කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී සඳහන් කළේය.
විශේෂයෙන්ම ජාතික කලාභවනේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වන විට නිම කිරීමට ජනාධිපතිවරයා නියෝග කළේය.
මහාභාරකාර දෙපාර්තමේන්තුව
මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපළ පාලනයේදී පැවති දුර්වලතා සහ අක්රමිකතා පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු වූ අතර ජනතා දේපළ අක්රමවත් ලෙස භාවිත වීම වැළැක්වීමට අදාළ පනත් සංශෝධනය කිරීමටත්, පාඩු ලබන භාරයන් පිළිබඳ විධිමත් සමාලෝචනයක් කර නව නීතිමය රාමුවක් සකස් කිරීමටත් උපදෙස් දෙන ලදී.
එසේම අමාත්යාංශය යටතේ එකම කාර්යය සිදු කරන ආයතන පවතින බැවින් එම ආයතන එකාබද්ධ කිරීමට යෝජනාවක් සකස් කරන ලෙසත්, 2027 වසරේදී සමකාලීන කලාව සහ කලාකරුවන් දිරිමත් කිරීම උදෙසා විද්යාත්මක පදනමක් සහිත නව අරමුදලක් පිහිටුවීමටත් මෙහිදී තීරණය විය.
මෙම අවස්ථාවට අමාත්යවරුන්, නියෝජ්ය අමාත්යවරුන්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු අමාත්යාංශ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
Comments
Moderated before publishing. Your email stays private.