විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන ‘මට්ටක්කුලිය රූබන්’ සහ ‘අංගොඩ ප්රියංකර’ යන අයගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු අයිස් මත්ද්රව්ය, තියුණු ආයුධ සහ ව්යාජ වාහන අංක තහඩු සමග අද (24) අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය පවසයි.
කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරකට අනුව, මහර දළුපිටිය ශරීර සුවතා මංතීරුව අසලදී මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හල්මුල්ල ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු සහ වැලෙවත්ත ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
අයිස් මත්ද්රව්ය සහ ආයුධ සොයාගැනීම
සැකකරුවන් පරික්ෂා කිරීමේදී එක් අයෙකු ළඟ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 12 මිලිග්රෑම් 500ක් සහ අනෙක් පුද්ගලයා ළඟ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 මිලිග්රෑම් 300ක් වශයෙන් අයිස් මත්ද්රව්ය ග්රෑම් 22 මිලිග්රෑම් 800ක ප්රමාණයක් සොයාගෙන ඇත.
අනතුරුව වැල්ලම්පිටිය ප්රදේශයේ පිහිටි සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී, එහි සඟවා තිබූ තියුණු කඩු 2ක්, මන්නා පිහියක් සහ ව්යාජ වාහන අංක තහඩු 4 ක්ද පොලිස් භාරයට ගැනීමට හැකිව තිබේ.
ඝාතනයක සැලසුම් හෙළිවේ
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී භයානක තොරතුරු රැසක් අනාවරණය වී ඇත.
පසුගිය 5 වැනිදා කිරින්ද ප්රදේශයේදී පොලිස් ජීප් රථයකට සමාන රථයකින් පැමිණ, යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු අනතුරට ලක් කර තුවාල සිදුකර ඇති බවත්, පසුව එම පුද්ගලයා ඝාතනය කර ඔහුගේ ගෙල කපා වලාන මත්ද්රව්ය දූෂණ ප්රහාරක බලකායේ අධ්යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමට මොවුන් සැලසුම් කර තිබූ බවත් හෙළිවී තිබේ.
පිටරටක සිට මෙරටට බෝට්ටුවකින් මත්ද්රව්ය තොගයක් ප්රවාහනය කරන බවට අදාළ තොරතුරුකරු මීට පෙර රොහාන් ඕලුගල මහතා වෙත තොරතුරක් ලබාදී ඇති අතර ඊට පළිගැනීමක් ලෙස මෙම ඝාතන සැලසුම ක්රියාත්මක කිරීමට සැකකරුවන් උත්සාහ කර ඇත.
වැඩිදුර විමර්ශන
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (24) මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක මංජුල සිල්වා මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.
Comments
Moderated before publishing. Your email stays private.