2026 වසරේ සැප්තැම්බර් මාසය දක්වා සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2,245ක ආදායමක් උපයා ඇති ශ්‍රී ලංකාවේ සංචාරක යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා, 2027 අයවැය මඟින් දැවැන්ත සංවර්ධන වැඩසටහන් රැසක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) පාර්ලිමේන්තුවේදී පියවර ගත්තේය.
ලෝක බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 77ක මූල්‍ය ආධාර ඇතිව කොළඹ කොටුව අවට පිහිටි ඓතිහාසික ගොඩනැගිලි සංරක්ෂණය කර විශේෂිත සංචාරක කලාපයක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධානතම පියවරකි.
ලන්දේසි බලකොටු සංවර්ධනය සහ 'දකුණු මීදුම් ත්‍රිකෝණ' ව්‍යාපෘතිය
රටේ ඓතිහාසික උරුමයන් සහ පාරිසරික සංචාරක කලාප දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුදල් යොදවමින් විශේෂ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතිය මත යාපනය, මන්නාරම, කල්පිටිය සහ මඩකලපුව යන ප්‍රදේශවල පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටු සංචාරක කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමට රුපියල් මිලියන 240 ක් වෙන් කර ඇත.
එමෙන්ම ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක හරහා සිංහරාජ වැසි වනාන්තරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන 'දකුණු මීදුම් ත්‍රිකෝණ' පාරිසරික සංචාරක ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම සඳහාද රුපියල් මිලියන 300 ක් ආයෝජනය කිරීමට නියමිතය.
සමුද්‍රීය සංචාරක කර්මාන්තයට නව පර්යන්ත සහ සහනදායී ණය
මගී නෞකා සහ සමුද්‍රීය සංචාරක කර්මාන්තය නඟාසිටුවීම අරමුණු කරගනිමින් කොළඹ වරායේ නව මගී නෞකා පර්යන්තයක් ස්ථාපිත කෙරෙන අතර ගාල්ල, තංගල්ල සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මගී පර්යන්ත පහසුකම් නවීකරණය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුදල්වලින් රුපියල් මිලියන 240ක් ලබා දෙනු ඇත.
ඊට අමතරව සමුද්‍රීය සංචාරක ක්‍රියාකරුවන්ට බෝට්ටු සහ උපකරණ මිලදී ගැනීම සඳහා සහනදායී ණය ලබාදීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදලින් රුපියල් මිලියන 500ක් යෙදවීමටද යෝජනා කර තිබේ.
විද්‍යුත් ප්‍රවේශපත්‍ර, ත්‍රිභාෂා හෝටල් පාසල් සහ සංචාරක පොලිසිය ශක්තිමත් කිරීම
සංචාරක සේවා ඩිජිටල්කරණය කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ද මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.
ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන ආවරණය වන පරිදි මධ්‍යගත අන්තර්ජාල විද්‍යුත් ප්‍රවේශපත්‍ර (e-ticketing) වේදිකාවක් ස්ථාපිත කිරීම සඳහා රජය රුපියල් මිලියන 35ක් වෙන් කර ඇති අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ආයතනය ඒ සඳහා රුපියල් මිලියන 133 ක ප්‍රාග්ධන දායකත්වයක් ලබා දෙයි.
සත්කාරක අංශයේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම සඳහා ඉන්දීය ආධාර යටතේ පොළොන්නරුවේ ඉදිකළ ත්‍රිභාෂා පාසල් පරිශ්‍රය ත්‍රිභාෂා හෝටල් පාසලක් බවට පත් කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති අතර පින්නවල හෝටල් පාසලද නවීකරණය කෙරේ.
තවද විශේෂිත පුහුණුව, බහුභාෂා නිලධාරීන්, විශේෂ මුර සංචාරක ඒකක, පැය 24 හදිසි ඇමතුම් අංකයක් සහ ජංගම යෙදුමක් (Mobile App)හඳුන්වා දෙමින් සංචාරක පොලිස් කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
Comments
Moderated before publishing. Your email stays private.