Swipe left or right to navigate stories
ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට ළඟා වෙයි

ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට ළඟා වෙයි

මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයට අයත් මෙම පෞද්ගලික ජෙට් යානය ශ්‍රී ලංකාව බලා සිය මංගල ගුවන් ගමන සිදුකර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිටය.

මෙවැනි දිගු දුර සුඛෝපභෝගී ජෙට් යානයක් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ආචාර්ය රොෂ් ජලග්ගේ මහතාය.



යානයේ තාක්ෂණික තොරතුරු

මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක් පමණ උසකින් පියාසර කිරීමේ හැකියාවෙන් යුත් මෙම ගුවන් යානය, දිගු දුර ගුවන් ගමන් සඳහා නිර්මාණය කළ අති සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයකි.

පැය 14කට ආසන්න කාලයක් අඛණ්ඩව පියාසර කිරීමේ හැකියාව ඇති මෙම ජෙට් යානයේ මගීන් 17 දෙනෙකුට ගමන් කළ හැකි අතර නිදන මැදිරියක්, භෝජනාගාර පහසුකම්, විවේක කලාප සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයකින් සමන්විත වේ.

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් වන ඉලෝන් මස්ක්, ගූගල් සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් මෙන්ම රූපට් මර්ඩොක්ද භාවිත කරන්නේ මෙවැනි ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයේ ජෙට් යානාය.



ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා

රත්නපුර, නීලගම ප්‍රදේශයේ උපත ලැබූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වසර 10කට අධික කාලයක් බටහිර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස කටයුතු කර ඇති ඒ මහතා, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය හා සත්කාර සේවා සපයන 'රොෂානා කෙයාර්' ව්‍යාපාර ජාලයේ හිමිකරු වේ.

ඕස්ට්‍රේලියානු ෆෝබ්ස් සඟරාව ඇතුළු ආර්ථික දත්ත වාර්තාවලට අනුව ඩොලර් බිලියනය ඉක්මවූ වත්කම් හිමි, ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික ව්‍යවසායකයා වන්නේද ඔහුය.

මෙම ඓතිහාසික ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ වන, කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක සහ එංගලන්තයේ බැරිස්ටර්වරියක වන ප්‍රියංකා ගමගේ මහත්මියද එක්ව සිටියාය.



සංචාරයේ අරමුණ

මෙරට තුළ නව ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීම සම්බන්ධ සාකච්ඡා සඳහා සහභාගී වූ මෙම දෙපළ පසුව යළිත් පර්ත් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අමතරව, මෙරට ඉහළ පෙළේ සංචාරක හා ව්‍යාපාරික සන්ධිස්ථානයක් ලෙස ජාත්‍යන්තරයට ඒත්තු ගැන්වීමත්, ලොව ධනවත් ව්‍යාපාරිකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු කරමින් නව ආයෝජන දොරටු විවෘත කිරීමත් මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සඳහන් කළේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem