Swipe left or right to navigate stories
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට තායිලන්තයේ රැකියා : ද්විත්ව ගිවිසුම්වලට අත්සන් තබයි

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000කට තායිලන්තයේ රැකියා : ද්විත්ව ගිවිසුම්වලට අත්සන් තබයි

තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් නීතිමය රාමුව යටතේ සේවයට ලබා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව දෙරට අතර කම්කරු සහයෝගිතාව ශක්තිමත් කිරීමේ විශේෂ ගිවිසුම් දෙකකට ඊයේ (14) අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ තායිලන්තයේ කම්කරු අමාත්‍ය ජුලාපන් අමෝර්න්විවත් මහතා විසින් මෙම ගිවිසුම්වලට අත්සන් තබන ලදී.

මෙහිදී කම්කරු සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම සහ තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුම යන ද්විත්ව ගිවිසුම්වලට එළඹිණි.



ගිවිසුම්වල ප්‍රධාන අන්තර්ගතය

දීර්ඝ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සකස් වූ මෙම ගිවිසුම් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම සහ සේවයේ යෙදවීම සඳහා සංවිධානාත්මක හා විනිවිද පෙනෙන රාමුවක් ස්ථාපිත කෙරේ.

ඉන් පළමු ගිවිසුම මගින් කම්කරු ප්‍රතිපත්ති, කම්කරු වෙළඳපොළ තොරතුරු, කුසලතා සංවර්ධනය, ශ්‍රම උත්පාදනය, ශ්‍රමික ආරක්ෂාව මෙන්ම නීතිවිරෝධී ලෙස බඳවා ගැනීම් සහ මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා පදනම වැටේ.

දෙවැනි ගිවිසුම මගින් විනිවිද පෙනෙන බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි, රැකියා ගිවිසුම්, නීතිමය ආරක්ෂාව, සුබසාධනය, වීසා, වැඩ බලපත්‍ර සහ ආපසු පැමිණීමේ විධිවිධාන ඇතුළු ප්‍රායෝගික වැඩපිළිවෙළ ස්ථාපිත කෙරේ.



අමාත්‍යවරුන්ගේ අදහස්

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ රැකියා අවස්ථා ලබා දීම පිළිබඳ තායි රජයට කෘතඥතාව පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනය තහවුරු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කළ අමාත්‍යවරයා, තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා ව්‍යාප්ත කරන ලෙසද ඉල්ලා සිටියේය.

මෙම රාමුව යටතේ පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට තායිලන්ත කම්කරු නීතිය යටතේ නීත්‍යනුකූල වේතන, ප්‍රතිලාභ සහ සෞඛ්‍ය රැකවරණය ඇතුළුව සමාන අයිතිවාසිකම් සහ ආරක්ෂාව හිමිවන බව තායිලන්ත කම්කරු අමාත්‍ය ජුලාපන් අමෝර්න්විවත් මහතා ප්‍රකාශ කළේය.



අග්නිදිග ආසියානු රැකියා වෙළඳපොළ

ශ්‍රී ලංකාව සිය විදේශ රැකියා ගමනාන්ත විවිධාංගීකරණය කරමින් පවතින අතර තායිලන්තය සහ අග්නිදිග ආසියානු කලාපය වැදගත් නව සේවා ගමනාන්ත ලෙස හඳුනාගෙන තිබේ.

දෙරට අතර පවතින සමාජීය හා සංස්කෘතික සමානකම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එම නව ජීවන සහ සේවා පරිසරයන්ට පහසුවෙන් හැඩගැසීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem