ශ්රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (19) පැවැති තෙවැනි විස්සයි-20 ජාත්යන්තර ක්රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් විය.
මෙම ජයග්රහණයත් සමග දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමටද එංගලන්තයට හැකි විය.
අගනා ශතකයක්ද සමග තරගාවලිය පුරා ලකුණු 170 ක් ලබාගත් එංගලන්ත නායක හැරී බෘෘක් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
ශ්රී ලංකා ඉනිම
මැන්චෙස්ටර් නුවර පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ පැතුම් නිස්සංක පන්දු 24 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක් රුස්කළ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 28 කින් ලකුණු 35 ක් රුස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සෝනි බේකර් ලකුණු 17 කට කඩුලු 2 ක් දවාගත් අතර ශ්රී ලංකා පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ජොෆ්රා ආචර් ලකුණු 23 කට කඩුලු 2 ක්ද, විල් ජැක්ස් ලකුණු 31 කට කඩුලු 2 ක්ද දවාගත්හ.
එංගලන්ත ඉනිම
ජයග්රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිතිකරුවෝ ඕවර 13.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.
වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ජොස් බට්ලර් පන්දු 32 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී ලකුණු 62 ක්ද, නායක හැරී බෘෘක් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්රහණය කරා ගෙන ගියහ.
ලකුණු සාරාංශය
ශ්රී ලංකාව - ඕවර 20 කදී සියලු දෙනා දැවී 124
(පැතුම් නිස්සංක 36, චරිත් අසලංක 16, කමිඳු මෙන්ඩිස් 35, සෝනි බේකර් 17/2, ජොෆ්රා ආචර් 23/2, විල් ජැක්ස් 31/2)
එංගලන්තය - ඕවර 13.3 කදී කඩුලු 2 ක් දැවී 126
(ජොස් බට්ලර් නොදැවී 62, හැරී බෘෘක් 33)
Comments
Moderated before publishing. Your email stays private.