ආසියානු රග්බි ශූරතාවලිය යටතේ ශ්රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වෙන රග්බි තරගය මෙම මස 24 වැනිදා පස්වරු 3.00 සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
ශ්රී ලංකාව, හොංකොං සහ කොරියාව යන රටවල්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය ආසියාවේ ප්රමුඛතම රග්බි තරගාවලිය ලෙස හැඳින්විය හැකිය.
හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු තරගයේදී ශ්රී ලංකාවට සිය මව්බිමේ වාසිය හිමිවන අතර ඉන් අනතුරුව ඔවුන් ජුනි මස 13 වැනිදා කොරියාවට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා ඉන්චෝන් නුවර බලා පිටත්ව යනු ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්යය
සාමාන්යයෙන් ආසියානු රග්බි ශූරතාවලිය පැවැත්වෙන්නේ පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින රටවල් 4 අතර වුවද, මෙවර එක්සත් අරාබි එමීර් රාජ්යය තරගාවලියට සහභාගි නොවීම හේතුවෙන් එය තුන් කොන් තරගාවලියක් බවට පත්ව තිබේ.
ඇමරිකා - ඉරාන ආරවුල හේතුවෙන් මැද පෙරදිග කලාපයට බලපා ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්යය මෙවර තරගාවලිය සහභාගි වීමෙන් වැළකී සිටින බව වාර්තා වේ.
එබැවින් මෙවර තරගාවලිය කණ්ඩායම් 3 කට සහ තරග 3 කට සීමා වී ඇති අතර එහිදී ඉහළම දස්කම් දක්වන කණ්ඩායාම 2025 වසරේ ආසියානු ශූරයන් ලෙස කිරුළු පැළඳීමට නියමිතය.
ශ්රී ලංකා සංචිතය
ආසියානු රග්බි ශූරතාවලිය සඳහා ශ්රී ලංකා රග්බි තේරීම් කමිටුව ක්රීඩකයන් 53 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් ප්රකාශයට පත්කර ඇති අතර පුහුණු සැසි කිහිපයකින් අනතුරුව එම ක්රීඩකයන් අතරින් අවසන් සංචිතය තෝරා ගැනීමට නියමිතය.
මෙම තරගාවලියට පෙර ශ්රී ලංකා රග්බි කණ්ඩායම අවසන් වරට නවසීලන්ත කිලෝග්රෑම් 85 ට අඩු රග්බි කණ්ඩායමට එරෙහිව මෙරටදී තරග 2 කට සහභාගි විය.
ඉන් ලසිඳු කරුණාතිලකගේ නායකත්වය යටතේ කොළඹදී ක්රීඩා කළ තරගය ලකුණු 27-16 ක් ලෙස පරාජයට පත්වූ ශ්රී ලංකා කණ්ඩායම, තරිඳු චතුරංගගේ නායකත්වය යටතේ මහනුවරදී ක්රීඩා කළ තරගය ලකුණු 25-10 ක් ලෙස පරාජයට පත්විය.
පසුබිම
තරගාවලියට සහභාගි වන හොං කොං සංචිතයට ඇතුළත්ව සිටින ක්රීඩකයන් 23 දෙනාගෙන් 17 ක් දෙනෙක්ම නවක ක්රීඩකයන් වන අතර ඔවුන් සහභාගි වන පළමු ජත්යන්තර තරගාවලිය මෙය වනු ඇත.
කොරියානු සංචිතයේ සිටින ක්රීඩකයන්ගෙන් බහුතරයක් විශ්වවිද්යාල සිසුන් වන බැවින් මෙවර තරගාවලියේදී ඉහළ දස්කම් දැක්වීමට සමත් වුවහොත් ශ්රී ලංකාවට ආසියානු ශුරතාව කරා යෑමට අනගි අවස්ථාවක් තිබේ.
මින් පෙර කිසි දිනෙක ශ්රී ලංකාව ආසියානු රග්බි ශූරයන් බවට පත්ව නොමැති අතර එක් වරක් පමණක් ආසියානු අනු ශූරයන් බවට පත්ව ඇත.
තරග කාලසටහන
- මැයි 24 – ශ්රී ලංකාව සහ හොංකොං අතර තරගය කොළඹ තුරඟ තරග පිටියේදී
- ජුනි 7 – හොංකොං සහ කොරියාව අතර තරගය හොංකොංහිදී
- ජුනි 13 – කොරියාව සහ ශ්රී ලංකාව අතර තරගය කොරියාවේ ඉන්චෝන්හිදී
Comments
Moderated before publishing. Your email stays private.