Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා රුපියල තවදුරටත් පහළට වැටෙයි

ශ්‍රී ලංකා රුපියල තවදුරටත් පහළට වැටෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ වාර්තාවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති අතර එහි විකුණුම් මිල රු. 342 ක් සහ ගැණුම් මිල රු. 332 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ආනයන ඉහළ යාම සහ සංචාරක ආදායම පහත වැටීම හේතුවෙන් මේ වසරේදී රුපියල 4.8% කින් පහත වැටී ඇති බව මහ බැංකුව වාර්තා කරයි.

දේශීය මුදල මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලීන පියවරක් ලෙස, රජය පසුගිය සතියේ පුද්ගලික පරිභෝජනය සඳහා ආනයනය කරනු ලබන වාහන සඳහා රේගු ආනයන බදු අධිභාරයක් පැනවීය.



අවප්‍රමාණය වීමට හේතු

2022 වසරේදී රුපියල අවප්‍රමාණය වීමට අභ්‍යන්තර සාධක බලපෑවද, මෙවර සිදුව ඇති පහත වැටීමට හේතු වී ඇත්තේ බාහිර සාධක බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තෙල් මිල ඉහළ යාමය.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අමතමින් වීරසිංහ මහතා කියා සිටියේ ආනයන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති මුත් අපනයන ඊට සාපේක්ෂව වර්ධනය වී නොමැති බවය.

මේ හේතුවෙන් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පීඩනයක් සහ හිඟයක් නිර්මාණය වී ඇති අතර, එයද රුපියල අවප්‍රමාණය වීමට දායක වී ඇත.



කලාපීය බලපෑමක්

ඩොලරයට සාපේක්ෂව තම මුදල් ඒකකය අවප්‍රමාණය වීමේ ගැටලුවට මුහුණ දී සිටින්නේ ශ්‍රී ලංකාව පමණක් නොවන බවත්, කලාපීය රටවල් කිහිපයකම මුදල් අගයන්ද මෙලෙස පහත වැටී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“විනිමය අනුපාතය තීරණය වන්නෙ ඉල්ලුම සහ සැපයුම මත. ඉල්ලුම වැඩි වෙනකොට මුදල යම් කිසි ප්‍රමාණයක අවප්‍රාමණයට ලක් වෙනවා." යැයි ඔහු පැවසීය.

“අපිට වගේම තෙල් ආනයනය කරන ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, පිලිපීනය සහ තායිලන්තය වගේ රටවල්වලටත් මේ තත්වය බලපාලා තියෙනවා.“ යැයි එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem