ශ්රී ලංකා යුද හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා පත් කරනු ලැබ තිබේ.
ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්රකාරව මෙම නව පත්වීම සිදුකර ඇති බව ආරක්ෂක ලේකම් අද්මිරාල් (විශ්රාමික) සම්පත් තුයියකොන්ත මහතා තහවුරු කළේය.
ශ්රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ මහතාගේ ධුර කාලය අවසන් වීමත් සමඟ මෙම පත්වීම සිදු කර ඇති අතර නව පත්වීමට සමගාමීව මේජර් ජෙනරාල් ධුරයේ සිටි නිලන්ත ප්රේමරත්න මහතා ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
හමුදා දිවිය සහ පසුබිම
ශ්රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න මහතා 1990 වසරේදී කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදා සේවයට එක්ව ඇත.
දියතලාව යුද හමුදා විද්යාපීඨයෙන් හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1992 වසරේදී දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ ඔහු, පසුගිය වසර 34ක කාලය පුරා හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර ඇත.
දැරූ ප්රධාන තනතුරු
නව හමුදාපතිවරයා ලෙස පත්වීමට පෙර ඔහු යුද හමුදා පද්ධතිය තුළ ප්රධාන තනතුරු රැසක් හොබවා තිබේ.
- යුද හමුදා 69 වැනි මාණ්ඩලික ප්රධානී
- යුද හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී
- ශ්රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාපති
- යුද හමුදා මාධ්ය ප්රකාශක සහ මාධ්ය අධ්යක්ෂ
- නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති
- යුද හමුදා අධ්යක්ෂ ජෙනරාල් පාලන
- යුද හමුදා විද්යාපීඨයේ උපදේශක
- 23 වන සේනාංකයේ සේනාංකාධිපති
- 551 පාබල බලසේනාවේ බලසේනාධිපති
අධ්යාපනික සහ ජාත්යන්තර අත්දැකීම්
නිලන්ත මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා හි 'Naval Postgraduate School' වෙතින් ත්රස්තවාදයට එරෙහි ප්රතිපත්ති සහ උපාය මාර්ග පිළිබඳ ආරක්ෂක අධ්යයනය සම්බන්ධයෙන් ශාස්ත්රපති උපාධියක් මෙන්ම, කැලණිය විශ්වවිද්යාලයෙන් ආරක්ෂක අධ්යයනය පිළිබඳ ශාස්ත්රපති උපාධියක් ලබා ඇත.
බටහිර සහරාවේ පැවැති එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුමේ හමුදා නිරීක්ෂකයෙකු ලෙස ද ඔහු සේවය කර ඇති නිලන්ත මහතා, ශ්රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය සහ චීනය යන රටවලින්ද උසස් හමුදා පුහුණුව ලබා ඇත.
රණශූරත්වයට ඇගයීම්
මව්බිම වෙනුවෙන් දැක්වූ වීරත්වය සහ විශිෂ්ට සේවය උදෙසා ඔහු දෙවතාවක්ම "රණශූර පදක්කම" හිමිකරගෙන ඇති අතර ඊට අමතරව "උත්තම සේවා පදක්කම" හිමිකර ගැනීමට සමත්ව ඇත.
ඔහු "The Impact of Changing External Conditions on Counter Insurgency: The Sri Lankan Experience" නමින් ශ්රී ලංකාවේ ත්රස්තවාදයට එරෙහි සටන සහ බාහිර බලපෑම් පිළිබඳ පර්යේෂණාත්මක ග්රන්ථයක්ද රචනා කර ඇති හමුදා බුද්ධිමතෙකි.
Comments
Moderated before publishing. Your email stays private.