Swipe left or right to navigate stories
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති තරගයකදී සත්කාරක එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් ක්‍රීඩිකාවන්ට මිතාලි අයෝද්‍යා සහ චේතනා විමුක්ති ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 79 ක් පමණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 80 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 7.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. මෙම ජයත් සමග ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.



වේග පන්දු යවන්නියෝ

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නියන් දෙදෙනා ලෙස කටයුතු කළ මිතාලි අයෝද්‍යා ඕවර 3.5 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 3 ක්ද, චේනතා විමුක්ති ඕවර 4 ක් යවමින් ලකුණු 16 කට කඩුලු 3 ක්ද බි‍ඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.

එහිදී මිතාලි යැවූ පන්දු 23 න් 13 ක්ම නිලකුණු පන්දු වීමත්, චේතනා යැවූ පන්දු 24 න් 15 ක්ම නිලකුණු පන්දු වීමත් කැපීපෙණුන සිදුවීමක් විය.

සිය මංගල විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ චේතනා මෙහිදී දැක්වූ දස්කම් හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය.



චමරිගේ ප්‍රහාරාත්මක ඉනිම

නායිකා චමරි අතපත්තු පන්ද 25 කට මුහුණ දෙමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමග නොදැවී වේගවත් ලකුණු 48 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඉමේෂා දුලානි (‍25) සමග එක්ව පන්දු 35 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චමරි සමත් වූවාය. පන්දු 18 කදී වාර්තා වූ දුලානිගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.

මෙම ඉනිමත් සමග කාන්තා ආසියානු කුසලාන තරගවලදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩිකාව බවට පත්වීමටද චමරි සමත් වූවාය.



ලකුණු සටහන

එක්සත් අරාබි එමීර් රාජ්‍යය - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 79
(ඊෂා ඕසා 18, සමීමා ධර්නිධාර්කා 17, රිනිතා රාජිත් 15, මිතාලි අයෝධ්‍යා 14/3, චේතනා විමුක්ති 16/3, සුගන්දිකා කුමාරි 18/2)

ශ්‍රී ලංකාව - ඕවර 7.5 කදී කඩුල්ලක් දැවී 80
(ඉමේෂා දුලානි 25, චමරි අතපත්තු නොදැවී 48)

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem