පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව අධිකරණය නිර්දේශ කර ඇති පරිදි අදාළ වගන්ති සංශෝධනය නොකරන්නේ නම්, එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය වනු ඇත.
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.
මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථා උල්ලංඝනය වන ආකාරය
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කථානායකවරයා සඳහන් කළේ යෝජිත පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති දෙකක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බවට අධිකරණය නිගමනය කර ඇති බවය.
ඒ අනුව පනත් කෙටුම්පතේ 7(1) වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව (නීතිය ඉදිරියේ සමානාත්මතාවය) උල්ලංඝනය වන බවත්, 29 වන වගන්තිය මඟින් 14(1)(ඇ) ව්‍යවස්ථාව (සමාගම් පැවැත්වීමේ නිදහස) උල්ලංඝනය වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.
සරල බහුතරයකින් පනත සම්මත කරගැනීමේ හැකියාව
කෙසේ වෙතත් පනත් කෙටුම්පත සලකා බලන කාරක සභා අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සංශෝධන ඊට ඇතුළත් කිරීමට රජය පියවර ගන්නේ නම්, මෙම ව්‍යවස්ථාපිත නොගැලපීම් මඟහැරී යනු ඇත.
එවැනි සංශෝධනයක් සිදු කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පමණක් අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට හැකියාව ලැබෙන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මඟින් වැඩිදුරටත් දන්වා ඇත.
Comments
Moderated before publishing. Your email stays private.