Swipe left or right to navigate stories
ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්වෙයි

ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් පරිපාලනය ඉල්ලා අස්වෙයි

ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යංශයද නිවේදනයක් නිකුත් කරමින් ශාම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගනු ලැබූ බවද, පරිපාලන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා අතුරු කමිටුවක් පත්කරන තෙක් ක්‍රිකට් ආයතනය තාවකාලිකව තම අමාත්‍යංශය යටතට පවරා ගන්නා බවද සඳහන් කළේය.



පසුබිම

2019 වසරේදී ජයන්ත ධර්මදාස මහතා පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට පත්වූ ශම්මි සිල්වා මහතා, වසර හතක කාලයක් එම ධුරය හෙබවීය. ඉන් අනතුරුව පැවැති මැතිවරණ තුනේදීම ක්‍රීඩා සංගම්වල බහුතර කැමැත්ත ඇතිව එම ධූරය ස‍ඳහා ඔහු නිතරගයෙන් පත් විය.

වසර තිහකට වැඩි කාලයක් ක්‍රිකට් ක්ෂේත්‍රයේ විවිධ භූමිකාවන් නියෝජනය කර ඇති ශම්මි මහතා, කොළඹ ක්‍රිකට් සමාජයේ (සී.සී.සී.) සභාපතිවරයාද වන අතර ඔහු හිටපු ක්‍රිකට් සහ රග්බි ක්‍රීඩකයකුද වේ.

කෙසේ වුවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශම්මි සිල්වා මහතාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත්, එසේ නොමැති වුවහොත් ඉවත් කිරීමට සිදුවන බවත් දැනුම් දී ඇති බව මෙම මස මුලදී මාධ්‍ය වාර්තා කළේය.

ශම්මි මහතාට එල්ල වී ඇති දූෂණ චෝදනා සහ 2026 විස්සයි-20 ලෝක කුසලානයේදී ජාතික කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස එල්ල වූ බලපෑම් ක්‍රම ක්‍රමයෙන් උග්‍ර විය.



ෂම්මි සිල්වාට එල්ල වූ විරෝධය

තමන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය වශයෙන් ඉහළම මට්ටමක පවතින බව පවසමින් ශම්මි මහතා මීට පෙර තමන්ව ඉවත් කිරීමට ගත් උත්සාහයන්ට විරෝධය පළ කළේය.

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පැවැති විස්සයි-20 ලෝක කුසලානය අතරතුර ශම්මි මහතා සහ විධායක කමිටු සාමාජිකයින් ක්‍රිකට් අරමුදල් සහ වරප්‍රසාද අවභාවිත කර ඇති බවට 2023 වසරේ විගණකාධිපති වාර්තාවක් ඔස්සේ චෝදනා එල්ල විය. එම චෝදනා ප්‍රතික්ෂේප කළ ශම්මි මහතා කියා සිටියේ ඒවා ඔප්පු වුවහොත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

පසුව එම වසරේම ශම්මි මහතා ඇතුළු විධායක කමිටුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පාර්ලිමේන්තුවේදී ඒකමතිකව යෝජනාවක් සම්මත විය. එම ඉල්ලීම් ප්‍රතික්ෂේප වූ විට එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පරිපාලනය විසුරුවා හැර අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුත් අතුරු කමිටුවක් පත් කළේය.

කෙසේ වෙතත් එය දේශපාලන බලපෑම් කිරීමක් ලෙස සලකා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීය. මෙම තහනම හේතුවෙන් 2024 වසරේ පැවැත්වීමට තිබූ අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සත්කාරකත්වය දැරීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමි විය.

රජයට ක්‍රිකට් පරිපාලනයට බලපෑම් කළ නොහැකි බව පෙන්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ම මෙම තහනම පනවන ලෙස අයි.සී.සී. යෙන් ඉල්ලා තිබූ බව මාධ්‍ය වාර්තා කළේය. පසුව අමාත්‍යවරයා සිය තීරණය ඉල්ලා අස්කරගෙන ශම්මි සිල්වා ප්‍රමුඛ පරිපාලනය යළි බලයේ පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාව යළිත් අයි.සී.සී සාමාජිකත්වය හිමිවිය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem