Swipe left or right to navigate stories
වැට් බදු සීමාව අඩු කිරීමේ යෝජනාව රජය ඉල්ලා අස්කර ගනියි

වැට් බදු සීමාව අඩු කිරීමේ යෝජනාව රජය ඉල්ලා අස්කර ගනියි

එකතු කළ අගය මත බදු (වැට්) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සඳහා වන වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට තිබූ යෝජනාවක් ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ වැට් (සංශෝධන) පනත් කෙටුම්පතේ කොටසක් ලෙස මෙම යෝජනාව ලබන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් මෙම යෝජනාව ඉවත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අවශ්‍ය අනුමැතිය ලැබී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.



පසුබිම

මෙම වැට් (සංශෝධන) පනත සකස් කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) විසින් නියම කරන ලද ඉලක්ක සපුරා ගැනීම සඳහා සහ ජාත්‍යන්තර ඩිජිටල් සේවාවන්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ බදු ජාලය පුළුල් කර ආදායම් උපයා ගැනීම අරමුණු කරගෙනය.

මෙහි පැවති වඩාත්ම ආන්දෝලනාත්මක යෝජනාවක් වූයේ වැට් සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට යටත් වන වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමය.

මෙමගින් දෛනික පිරිවැටුම රුපියල් 100,000 ක් උපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 18% ක වැට් බදු සහ 2.5% ක සමාජ ආරක්ෂණ බදු සීමාවට ඇතුළත් වීමට නියමිතව තිබුණි.

"දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද්ධය වැනි අපගේ පාලනයෙන් බැහැර වූ අනපේක්ෂිත සිදුවීම් නිසා ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියට බාධා එල්ල වුණා. මෙයින් විශේෂයෙන්ම සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දැඩි අහිතකර බලපෑම් එල්ල වුණා." යැයි අදාළ යෝජනාව ඉල්ලා අස්කර ගන්නා බව ප්‍රකාශ කරමින් නියෝජ්‍ය අමාත්‍ය ජයවීර මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

මෙම පනත් කෙටුම්පත මගින් චේතනාන්විතව බදු පැහැර හැරීම සහ වංචනික ලෙස බදු ප්‍රතිලාභ ලබා ගැනීමට උත්සාහ කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක් දක්වා දඩ මුදල් සහ මාස හයක් දක්වා සිරදඬුවම් පැනවීමටද නියමිතව තිබුණි.
මෙම යෝජනාව ක්‍රියාත්මක වූයේ නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් 10,000 කට ආසන්න ප්‍රමාණයකට මෙයින් බලපෑම් එල්ල වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.



හර්ෂගේ ප්‍රතිචාරය

රජයේ මෙම පසුබැසීම මහජනතාව ලැබූ ජයග්‍රහණයක් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

"බදු පදනම පුළුල් කිරීම නිවැරදියි. නමුත් එය සාධාරණ එකක් විය යුතුයි. බලවතුන්ට නිදැල්ලේ හැසිරෙන්නට හැර, සුළු වෙළෙන්දා තලාපෙලා දමන ක්‍රමයක් නොවිය යුතුයි." යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර තිබේ.

"අද ඔවුන් පසුබැස්සා. බදු සීමාව රුපියල් මිලියන 60 මට්ටමේම පවතිනවා. ඒක ඔවුන්ගේ ජයග්‍රහණයක් නෙවෙයි, ඒක ඔබලාගේ ජයග්‍රහණයක්." යැයි ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem