රජය විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් අධිභාර පැනවීමක් සිදු කරනු ලැබ තිබුණද, වාහන ආනයනයේ සැලකිය යුතු අඩුවක් මෙතෙක් දක්නට නොලැබෙන බව ශ්රී ලංකා රේගුව පවසයි.
ශ්රී ලංකා රේගු මාධ්ය ප්රකාශක චන්දන පුංචිහේවා මහතා මාධ්ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අධිභාර පැනවීමෙන් පසුද විවිධ වර්ගයේ වාහන ආනයනය කිරීම අඛණ්ඩව සිදුවෙමින් පවතින බවය.
ආනයනය කරනු ලැබූ වාහන විශාල ප්රමාණයක් මේ වන විටත් රට තුළ පවතින අතර එම වාහන නිදහස් කිරීමේ සහ බෙදාහැරීමේ කටයුතුද අඛණ්ඩව සිදුවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඉහළ ඉල්ලුම
වාහන ආනයනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති බදු හා අධිභාර ප්රතිපත්ති වෙළෙඳපොළට යම් බලපෑමක් ඇති කළද, වාහන සඳහා පවතින ඉල්ලුම තවමත් ඉහළ මට්ටමක පවතින බව පුංචිහේවා සඳහන් කළේය.
රේගු දත්ත අනුව මෑතකාලීනව ආනයනය කර ඇති වාහන තොග හේතුවෙන් වරාය සහ රේගු පරිශ්ර තුළද වාහන රැසක් රඳවා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් වාහන ආනයනය සම්බන්ධයෙන් රජය හඳුන්වා දී ඇති බදු සහ අධිභාර ප්රතිපත්ති වෙළෙඳපොළට කෙසේ බලපාන්නේද යන්න ඉදිරි මාසවලදී වඩාත් පැහැදිලි වනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
රේගු නිෂ්කාශනය
රේගු මාධ්ය ප්රකාශකවරයාට අනුව රජය විසින් වාහන සඳහා අධිභාරයක් පැනවීමට කටයුතු කළද, මේ වන විට මෙරටට වාහන 11,400 කට අධික ප්රමාණයක් ආනයනය කර තිබේ.
මෙම සමස්ත වාහන ප්රමාණයෙන් වාහන 3,200 කට ආසන්න ප්රමාණයක් මේ වන විටත් රේගුවෙන් නිදහස් කර අවසන් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම දැනටමත් මෙරටට පැමිණ ඇති ඉතිරි වාහන 8,200 ක පමණ ප්රමාණය ඉදිරි දින කිහිපය ඇතුළත රේගු නිෂ්කාශන කටයුතු නිමවා නිදහස් කර ගැනීමට නියමිතව ඇත.
බදු ආදායම
මෙම වාහන ආනයනය කිරීම් හේතුවෙන් රජයට ලැබී ඇති සහ ලැබීමට නියමිත බදු ආදායම් පිළිබඳවද පුංචිහේවා මහතා කරුණු පැහැදිලි කළේය. දැනට නිදහස් කර ඇති වාහන 3,200 ක ප්රමාණය වෙනුවෙන් පමණක් රජය රුපියල් බිලියන 12.5 ක විශාල බදු ආදායමක් උපයාගෙන තිබේ.
එමෙන්ම වරායේ රඳවා තබා ඇති ඉතිරි වාහන 8,200 ක ප්රමාණය නිදහස් කිරීමේදී රජයට තවත් රුපියල් බිලියන 32.5 ක බදු ආදායමක් හිමිවීමට නියමිතය.
ඒ අනුව මෙම සමස්ත වාහන තොගයම නිදහස් කර අවසන් වන විට රජයට ලැබෙන මුළු බදු ආදායම රුපියල් බිලියන 45 ක් දක්වා ඉහළ යන බව රේගු මාධ්ය ප්රකාශකවරයා ගණනය කර පෙන්වා දෙයි.
අධිභාරයක් පැනවීම
විදෙස් රටවලින් ගෙන්වන වාහනවලට නියම කෙරෙන රේගු ආනයන තීරු බදු මත 50% ක අධිභාරයක් අය කිරීමට තීරණය කරමින් රජය මැයි මස 16 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ් අනුව මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50% ක අධිභාරය අය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ එම විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් මැයි මස 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා එම නව 50% ක අධිභාරය බල නොපාන බවද එම ගැසට් පත්රයේ සටහන් විය.
Comments
Moderated before publishing. Your email stays private.