2021 වසරේ සිට අවස්ථා ගණනාවකදීම කල් දැමීමට සිදුවූ 14 වැනි දකුණු ආසියානු ක්රීඩා උළෙල 2027 වසරේ අප්රේල් මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා පාකිස්තානයේදී පැවැත්වෙන බව දකුණු ආසියානු ක්රීඩා සම්මේලනය නිවේදනය කර තිබේ.
වසර හයක ප්රමාදයකින් පසුව පැවැත්වෙන මෙම තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයේ ඉස්ලාමාබාද්, ලාහෝර් සහ පෙෂාවර් යන නගර විසින් දරනු ලබයි. පාකිස්තානය සාග් ක්රීඩා උළෙලක සත්කාරකත්වය දරන්නේ 2004 වසරෙන් පසුව වීමද විශේෂත්වයකි.
තරගාවලිය කල් යාම
පාකිස්තානයේ සත්කාරකත්වය පිළිගැනීම ඉන්දියාව විසින් දිගින් දිගටම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් 14 වැනි සාග් ක්රීඩා උළෙල වසර ගණනාවක් පුරා කල් දැමීමට සිදු විය.
කෙසේ වෙතත් මේ වන විට ඉන්දියාව තරගාවලියට සහභාගි වීම සඳහා වාචිකව කැමැත්ත පළ කර ඇති අතර ඒ අනුව දකුණු ආසියානු ක්රීඩා සම්මේලනය නව දින වකවානු තහවුරු කර ඇත.
ක්රීඩා ඉසව් 27 ක්
මෙවර සාග් ක්රීඩා උළෙල ක්රීඩා ඉසව් 27 කින් සමන්විත වන අතර ඊට කාන්තා සහ පිරිමි විස්සයි-20 ක්රිකට් තරගාවලිද ඇතුළත් වේ.
ඊට අමතරව දුන්නෙන් විදීම, මලල ක්රීඩා, පිහිනුම්, දිය පිහිනුම්, බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු, බිලියඩ් හා ස්නූකර්, බොක්සිං, පාපැදි, ගොල්ෆ්, කඩු හරඹ, හොකී, පාපන්දු, අශ්වාරෝහක, පරිගණක ක්රීඩා, ජිම්නාස්ටික්, හෑන්ඩ් බෝල්, ජූඩෝ, කබඩි, කරාටේ, ලැක්රොස්, රුවල් ඔරු, රග්බි, ඉලක්කයට වෙඩි තැබීම, ස්කොෂ්, මේසපන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන් ප්රයාම, වොලිබෝල්, වෝටර් පෝලෝ, මල්ලවපොර, බර ඉසිලීම සහ වූෂු යන ක්රීඩාද එහිදී පැවැත්වේ.
13 වැනි සාග් ක්රීඩා උළෙල
අවසන් වරට 2019 දෙසැම්බර් මාසයේදී නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති 13 වැනි සාග් ක්රීඩා උළෙලේ ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 174 ක් සමගින් මුළු පදක්කම් 312 ක් දිනාගත් ඉන්දියාව සමත් විය.
රන් පදක්කම් 51 ක් දිනාගත් සත්කාරක නේපාලය දෙවැනි ස්ථානයට පත් වූ අතර ශ්රී ලංකාව රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 83 ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් සමග මුළු පදක්කම් 251 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයට පත් විය.
කත්මන්ඩු සාග් ක්රීඩා උළෙල සඳහා ශ්රී ලංකාවෙන් ක්රීඩක ක්රීඩිකාවන් සහ නිලධාරීන් 800 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර ඒ සඳහා රුපියල් කෝටි 28 කට ආසන්න පිරිවැයක් දැරීමට සිදු වී තිබුණි.
Comments
Moderated before publishing. Your email stays private.