පසුගිය ජූලි 23 වැනිදා වරාය නගරයේදී මධ්යම රාත්රියේ විදේශිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිදු වූ මනුෂ්ය ඝාතනයේ ප්රධාන සැකකරු සිද්ධියෙන් දින 43 කට පසුව අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීනයේ ලොග්ටන් නගරයේ, ලිළින් දිස්ත්රික්කයේ පදිංචි 54 හැවිරිදි චේ හොංබින් නම් චීන ජාතිකයෙකි.
ගැටුමට මුල
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බැංකු ගිණුම් වාර්තා ඇතුළත් කර තිබූ ජංගම දුරකථනයක් මුහුදට විසි කිරීම මෙම මාරාන්තික ගැටුමට හේතු වී ඇති බවය.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය ඇහැලියගොඩ ප්රදේශයේ කබොක් ගල්වලින් වසා දමා තිබියදී පසුව හඳුනාගැනීමට හැකි විය.
වෙස් මාරු කර සිටියදී අත්අඩංගුවට
අපරාධය සිදු කිරීමෙන් පසු ප්රධාන සැකකරු බොරු කොණ්ඩයක් පළඳිමින් සිය වෙස් මාරු කරගෙන සැඟව සිට ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ පුළුල් මෙහෙයුමක ප්රතිඵලයක් ලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මීට අමතරව සිද්ධියට සම්බන්ධ වී අතුරුදහන්ව සිටි ජාත්යන්තර අපරාධකරුවන් දෙදෙනෙකු ඇතුළු තවත් චීන ජාතිකයින් දෙදෙනෙකු පසුගියදා සීගිරිය ප්රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඉදිරි විමර්ශන
අත්අඩංගුවට ගත් ප්රධාන සැකකරු අද (5) අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන අතර ඉදිරියේදී සැකකරු කැඳවාගෙන ගොස් ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමටද නියමිතය.
Comments
Moderated before publishing. Your email stays private.